Tuesday, January 7, 2025

General line - 0115112241

අගමැතිට එරෙහි වූ නිදහස් පක්ෂ ඇමතිවරු ඉල්ලා අස්වීමට අවසර ඉල්ලයි

හර්ෂිකා සංජීවනී




ජාතික ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී පක්ෂය තුළ කටයුතු කිරීමට ඉඩ ලබාදෙන්නැයි ඉල්ලා ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරු කණ්ඩායමක් ජනාධිපතිවරයා වෙත ලිපියක් භාර දී තිබෙනවා. අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදුන් මැති ඇමතිවරුන් 16 දෙනා විසිනුයි මෙම ලිපිය ජනාධිපතිවරයා වෙත භාරදී ඇත්තේ. 

ඒ අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ලබාදෙන තීරණය අනුව තම කණ්ඩායම ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය දයාසිරි ජයසේකර නෙත් නිවුස් වෙත කියා සිටියේ. ලබන සදුදා (09) පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී ද ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

දයාසිරි ජයසේකර, එස් බී දිසානායක, සුසිල් පේ‍්‍රමජයන්ත්, අනුර ප‍්‍රියදර්ශන යාපා, චන්දිම වීරක්කොඩි සහ ඩබ්ලිව් ඞී ජේ සෙනෙවිරත්න යන කැබිනට් අමාත්‍යවරුන් 06දෙනා අග‍්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළා. ඊට අමතරව රාජ්‍ය අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ටී බී ඒකනායක, ඩිලාන් පෙරේරා හා සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ ද ඡන්දය ලබා දුන්නේ විශ්වාසභංග යෝජනාවට පක්ෂවයි. නියෝජ්‍ය අමාතයවරුන් වන සුසන්ත පුංචිනිළමේ, අනුරාධ ජයරත්න, සුමේධා ජී ජයසේන, ලක්ෂ්මන් වසන්ත සහ තාරානාත් බස්නායක මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රි තිලංග සුමතිපාල ද විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිතා කළා. 

මෙම මැති ඇමතිවරුන් 16 දෙනාට එරෙහිව කථානායකවරයා වෙත විශ්වාසභංග යෝජනා භාරදීමටයි එක්සත් ජාතික පක්ෂය ඊයේ (06) කටයුතු කළේ. එහෙත් එම විශ්වාසභංග යෝජනා ඉල්ලා අස්කර ගන්නා ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත‍්‍රිවරුන්ට පසුව දැනුම් දුන්නා.