Friday, September 20, 2024

General line - 0115112241

දුමින්ද ඉවත් කරන්නැයි ශ‍්‍රිලනිප 16 කණ්ඩායම ඉල්ලයි

හේමන්ත කහවලගේ




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් අමාත්‍ය දුමින්ද දිසානායක ඉවත් කරන්නැයි අද (24) රැස්වන මධ්‍යම කාරක සභාවට යෝජනා කිරීමට ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම තීරණය කර තිබෙනවා. ජාතික ආණ්ඩුව සඳහා වන සම්මුති ගිවිසුමෙන් 
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් විය යුතු බවටද එහිදී යෝජනා කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. 

තමන් ඇතුළු ඇමති ධුර අත්හල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනා විපක්ෂයට එක්වීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියි. ආණ්ඩුවෙන් කිහිපදෙනෙක් තමන් සමග එක්වෙනවා හැරෙන්නට තමන් යලි ආණ්ඩුවට එකතු වීමේ අදහසක් නොමැති බවයි.

ජාතික ආණ්ඩුවෙන් ද ඉවත් වීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සූදානමක් ඇත්දැයි මෙහිදී ප‍්‍රශ්න කෙරුණා. මෙහිදී මන්ත්‍රීවරයා කියා සිටියේ තමන් එජාපය තනිව ආණ්ඩුවක් පිහිටුවනවා නම් තමන් කැමති බවයි.

ජනාධිපතිවරයා හමුවීමට ලන්ඩන් නුවරට ගිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රී කණ්ඩායම එහිදී ඩිලාන් පෙරේරා මන්ත‍්‍රීවරයාගේ උපන් දිනය සැමරූ ආකාරය දැක්වෙන ඡයාරූප කිහිපයක් ඉකුත් දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළ වුණා. ඒ පිළිබඳව නැගුණු ප‍්‍රශ්නවලට චන්දිම වීරක්කොඩි මන්ත‍්‍රීවරයා කියා සිටියේ සයිවර් හෝටලයක් වැනි ස්ථානයක සිට සැමරු එම උපන්දිනය ගැන බහුතරයක් දෙනා අද කතා කරන බවත් ඊට වඩා බිලියන ගණන් වියදම් කර උපන් දිනයන් සමරන ඇමතිවරු ඉන්න තැනක මේ වගේ කුඩා උපන්දින සැමරුමක් ගැන පමණක් සාකච්ජා කරන බව මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

මෙම මාධ්‍ය හමුවෙන් පසු අමාත්‍ය මහින්ද සමරසිංහ ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබුණ ද පසුව එය අවලංගු කෙරුණා. 

මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රාත‍්‍රියේ රැස්වීමට නියමිතව තිබෙනවා.