Friday, September 20, 2024

General line - 0115112241

"උදයංග වීරතුංග මෙරටට ගෙන්වා ගැනීමට බලපෑම් කරන්න බෑ"  -  පොලිස්පති

වසන්ත පිවිතුරු / දිනුක් හේවාවිතාරණ




රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මෙරටට ගෙන්වා ගැනීමට නම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැමත්ත තිබිය යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. එම නිසා උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට අවශ්‍ය වී ඇති පසුබිම එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැහැදිළි කරමින් සිටින බවයි ඔහු කියා සිටියේ.

පොලිස්පතිවරයා මෙම අදහස් පල කළේ ඊයේ (24)  නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

රුසියාවේ හිටපු තානාපතිවරයා ඩුබාහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට නීතියට බවත් එහිදී සිදුවූ බව කියන නීතිය කඩවීමේ සිද්ධියකට අදාළව බවත් පොලිස්පතිවරයා මෙහිදී කියා සිටියා. එම නිසා ඔහුව ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස අයුතු ලෙස බලපෑම් කිරිමේ හැකියාවක් තමන්ට නොමැති බවද පොලිස්පතිවරයා මෙහිදී කියා සිටියා.  

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කළ හැකි සීමාවන් ඇති අතර දෙරට  අතර පවතින අන්‍යොන්‍යය අවබෝධතා අනුව කටයුතු කළ යුතුව ඇති බවද පොලිස්පතිවරයා පෙන්වාදුන්නා.

මෙහිදී අදහස් දැක්වූ පොලීස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ සිංගප්පූරුවේ සිටින අයෙකු ශ්‍රී ලංකාව ගෙන්වා ගැනීම පහසුවෙන් කළ හැකි බවයි.