Friday, September 20, 2024

General line - 0115112241

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුවූ බව කියන අක්‍රමිකතා සොයන කමිටුව වැඩ අරඹන කාලය ජනපති කියයි




ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සිදුවූ බව පැවසෙන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ විමර්ශන කටයුතුවලට අදාළ තොරතුරු හා සාක්ෂි සටහන් කර ගැනීම ඉදිරි සති දෙක තුළදී ආරම්භ කිරීමට නියමිත බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට අනුබද්ධ වෘත්තීය සමිති සන්ධානය සමග අද (25) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

ශ්‍රී ලන්කන් ගුවන් සේවාව පිළිබඳ අන්තර්ජාතිකව පවතින පිළිගැනිම ආරක්ෂා කර ගනිමින්, ගුණාත්මක ගුවන් සේවාවක් ලෙස එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වාදුන්නා.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අනුබද්ධ වෘත්තීය සමිති 06 න් 05 ක් නියෝජනය කරමින් නියෝජිතයින් මෙම හමුවට එක්ව සිටී අතර, සමාගමේ දැනට පවතින තත්ත්වය සහ මතුව ඇති ගැටලූ විසදාගනිමින් සමාගමේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම පිළිබඳ ඔවුන් දීර්ඝ වශයෙන් අදහස් සහ යෝජනා ඉදිරිපත් කළා. 

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවාවල ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය වර්ධනය කරමින් මගීන්ට අභිරුචියකින් සහ ප්‍රබෝධයකින් යුතුව සිය ගමනාන්තය කරා ළගාවීමට හැකි පහසුකම් පළුල් කිරීමේ අවශ්‍යතාවය  ද ජනාධිපතිවරයා පැහැදිළි කර තිබෙනවා.

එමෙන්ම පසුගිය කාලය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට නව ජනාධිපති කොමිසමක් පත්කරමින් සමාගමේ කටයුතු ක්‍රමවත්ව සහ විනිවිදභාවයෙන් යුතුව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම  පිළිබද මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයින් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතියද පිරිනමා තිබෙනවා.

ඒ පිළිබද අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, වෘත්තීය සමිති නියෝජිතයින් ඇතුළු සියලූ පාර්ශ්වවල තොරතුරු ලබාගනිමින් සහ සියලූදෙනාගේ යෝජනා සැලකිල්ලට ගනිමින් රජයට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට එම කොමිසම කඩිනමින් කටයුතු කරනු ඇති බවයි.

අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ජාතික ආර්ථීක සභාවේ මහ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති රංජිත් ප්‍රනාන්දු ඇතුළු අධ්‍යක්ෂවරුන් මෙම අවස්ථාවට එක්ව සිටියා.