Saturday, May 18, 2024

General line - 0115112241

අභිනව උප ප්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම ජනාධිපති අතින් (PHOTOS)




සද්ධර්ම කීර්ති ශ්‍රී චන්ද්‍ර ජෝති අභිධානයෙන් හා මාතලේ මහ දිසාවේ උප ප්‍රධාන සංඝානයක ධූරයෙන් පිදුම් ලැබූ පූජ්‍ය අඹගස්වැවේ රාහුලාභිධාන මහා නායක හිමිපාණන් වහන්සේ වෙත එම ධූරය පිළිබද අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල ශ්‍රී වළගම්බා මහා පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වුණා.

අභිනව උප ප්‍රධාන සංඝනායක හිමිපාණන් වහන්සේ වෙත විජිණිපත පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවුණා.

වළගම්බා පිරිවෙන් විහාරස්ථානය අසළ පිහිටි වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම කිරීමට අදාළ සමරු ඵලකය ද ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරුණා.

පිරිවෙන් පරිශ්‍රයේ සංවිධානය කර තිබූ සංස්කෘතික ගම්මානය නැරඹීමට ද එක්වූ ජනාධිපතිතුමා එහි එළවළු ගොවිපළ ද නිරික්ෂණය කළා.

අස්ගිරි පාර්ශවයේ අනුනායකහිමිවරුන් වන පූජ්‍ය ආණමඩුවේ ධම්මදස්සි අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය වෙඩරුවේ උපාලි අනුනායක ස්වාමින් වහන්සේ, රංගිරි දඹුලූ රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද ලක්ෂ්මන් වසන්ත පෙරේරා, එස් බී දිසානායක, සරත් ඒකනායක, බන්දුල යාලේගම, ජනක බණ්ඩාර තෙන්නකෝන් යන පිරිස ද, දඹුල්ල නගරාධිපති, බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.