Saturday, September 21, 2024

General line - 0115112241

මහ මෝරුන් අල්ලන්න අල්ලස් කොමිසම හැදු මාස 03 මෙහෙයුම

හේමන්ත කහවලගේ




ජනාධිපති කාර්යය මණ්ඩල ප‍්‍රධානී අයි.එචි.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මාස 03 පමණ කාලයක සිට සැලසුම් සකස් කර ඇති බව නෙත් නිවුස් වෙත වාර්තාවුණා. මෙම නිලධාරීන් දෙදෙනා තමන්ගෙන් අල්ලස් ඉල්ලා බලපෑම් කරන බවට අදාළ සමාගමේ හිමිකරු අල්ලස් කොමිසමට පැමිණිලි කර ඇත්තේ පසුගිය පෙබරවාරි මස මුලදීයි. සැකකරුවන් පළමුව ඉල්ලා ඇති අල්ලස් මුදල රුපියල් මිලියන 450ක් වන අතර පසුව එය රුපියල් මිලියන 540 දක්වා වැඩි කර තිබෙනවා. කෙසේවෙතත් කේවල් කිරීමෙන් පසු එය රුපියල් මිලියන 450 දක්වාත් අනතුරුව රුපියල් මිලියන 100 දක්වාත්, අඩුකර ඇති බවයි අදාළ සමාගමේ හිමිකරු අල්ලස් කොමිසමට පවසා ඇත්තේ. 

අදාළ අල්ලස් මුදලෙන් අත්තිකාරමක් ලෙස රුපියල් කෝටි 2ක මුදලක් ලබා ගැනීමට අදාළ නිලධාරීන් දෙදෙනා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ වාහන රථ ගාලට පැමිණ තිබෙනවා. එහිදී ඔවුන් දෙදෙනා රුපියල් කෝටි 2ක මුදල ලබා ගෙන ඇත්තේ ඉන්දීය ව්‍යාපාරිකයාගේ මෝටර් රථය තුළදීයි. ඉන්දීය ව්‍යාපාරිකයා සමග අල්ලස් කොමිසමේ නිලධාරියෙකුද ඉන්දීය ජාතිකයෙකු ලෙස වෙස් ගෙන මෝටර් රථය තුල රැඳී සිට ඇති බවයි වැඩිදුරටත් වාර්තාවුණේ. 

සැකකරුවන්ට ලබා දී ඇත්තේ අල්ලස් කොමිසම මගින් ලබා දුන් මුදල් තොගයක්. ඒවායේ අනුක‍්‍රමික අංක සියල්ල සටහන් කර කොමිසම මගින් ලබා දී තිබෙනවා. ඒ අනුව සැකකරුවන් අල්ලස් ලබා ගත් බව පැහැදිළිව ඔප්පු කිරීමට අල්ලස් කොමිසම සමත්ව ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තාවුණේ.