Saturday, September 21, 2024

General line - 0115112241

සමෘද්ධි බැංකුව ගැන අගමැතිගෙන් තීන්දුවක් - මැයි සැමරුමේදී කියයි (UPDATE)




එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ  මැයි දින සැමරුම් උත්සවය අද (06) පෙරවරුවේ ආරම්භ වුණේ පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදීයි.

මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ සමෘද්ධි බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුව යටතට පත් කිරීමට කටයුතු කරන බවයි.

------------------------------

එජාපයේම නායකයෙක්.. එජාපයේම ජනාධිපතිවරයෙක් බිහි කරන බවට 'මැයි' සැමරුමේදී ප්‍රතිඥාවක් (UPDATE)

(06-05-2018 13:28)

 

 

2020 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරයෙක් බිහි කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන බවට එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අද (06) ප්‍රතිඥාවක් ලබා දුන්නා.

 ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන පක්ෂයේ මැයි රැළිය අමතමින්.

එක්සත් ජාතික පක්ෂය සුදුස්සාට නිසිතැන ලබා දීම සඳහා ඕනෑම අවස්ථාවක සූදානම් පක්ෂයක් බවයි නව මහ ලේකම්වරයා එහිදී පෙන්වා දුන්නේ.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ

"අද මේ මැයි දින සැමරුම වැදගත් වෙන්නේ පක්ෂයේ පහලම තැන ඉඳලා.. ගමේ ඉඳලා ඇවිත් මේ පක්ෂයේ මහලේකම් දක්වා ගමන් කරලා ඉන්න නිසා..ඒක මට ආඩම්බරයක්. 

එදා මම මේ පක්ෂයේ මැයි දිනය සමරන්න එනකොට මම මේ පක්ෂයේ කිසිම කෙනෙක්ව අඳුනන්නේ නෑ. එක්සත් ජාතික පක්ෂය යනු කාටවත් තනි අයිතියක් තියෙන පක්ෂයක් නෙමෙයි. කැපවීම සහ ඕනෑකම තියෙනවා නම් ඉස්සරහට එන්න පුලුවන් පක්ෂයක්.

මට මේ තනතුර භාර දෙනකොට ගොඩක් අය ඇහුවා අකිලට මේක කරන්න පුළුවන්ද කියලා. මම ඔබට අද ප්‍රතිඥාවක් දෙනවා..අපි අපේම නායකයෙක් අපේම ජනාධිපතිවරයෙක් විස්සයි විස්සේදී බිහි කරනවා. ඒ තැනට මම මේ පක්ෂය සූදානම් කරනවා..

අධ්‍යාපන අමාත්‍යාංශය බාර දෙනකොටත් වෙනත් ඕනෑම තනතුරක් මට ලැබෙනකොට ගොඩක් අය අහපු දෙයක් තමයි අකිලට මේක කරන්න පුළුවන්ද කියන එක. 

හැමදාම ප්‍රශ්න ගොඩක පැටළිලා තිබුණු අධ්‍යාපන අමාත්‍යාංශය අද හොඳ තැනක් වෙලා අධ්‍යාපනයේ විශ්වාසයක් ඇති තැනක් බවට පත්වෙලා තියෙනවා." යනුවෙනි.

---------------------------------------

එජාප මැයි දින සැමරුම ඇරඹෙයි -  ප‍්‍රබලයින් දෙදෙනෙක් උත්සවයට නැහැ

(06-05-2018 11:56)

 

රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෙන්ම වත්මන් ආණ්ඩුවේ මූල්‍ය වංචාවලට සහ දූෂණවලට සම්බන්ධ පුද්ගලයින්ට දඩුවම් දීම සඳහා අධිකරණ පද්ධතියක් ස්ථාපිත කරන බව එක්සත් ජාතික පක්ෂය අද (06) ප‍්‍රකාශ කළා.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී ඇරඹුණු මැයි දින සැමරුම් උත්සවය අමතමින් රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මේ බව කියා සිටියා. 

එක්සත් ජාතික පක්ෂ වර්තමානය සිය නාමය පිරිසිදු කර ගැනීමේ අරගලයක යෙදී සිටින බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

එක්සත් ජාතික පක්ෂය සංවිධාන කළ මෙම මැයි දින සැමරුම් උත්සවය අද ආරම්භ වුණේ පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පක්ෂයේ නව සභාපති, අමාත්‍ය කබීර් හෂීම් මෙන්ම හිටපු සභාපති, අමාත්‍ය මලික් සමරවික‍්‍රම ද මෙම මැයි දින සැමරුමට එක්ව නොසිටි බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එමෙන්ම මාතලේ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් අලූවිහාරේ ද මෙම මැයි දින සැමරුම වර්ජනය කර තිබෙනවා.