Saturday, September 21, 2024

General line - 0115112241

එජාප මැයි රැළියේදී පක්ෂ නායකත්වය ගැන මතගැටුම්

මේනකා රත්නායක




අද (06) පැවැති එක්සත් ජාතික පක්ෂ කම්කරු දින රැළියේදී පක්ෂ නායකත්වය පිළිබඳ විවිධ මත පළවුණා.

රැලිය ඇමතූ පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක කියා සිටියේ 1994 සිට මෙරටේ ජනාධිපතිධුරයට එක්සත් ජාතික පක්ෂයෙන් කෙනෙක් තේරි පත් නොවූ බවත් මෙවර ජනාධිපතිවරණයේදී පක්ෂ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඒ සදහා තරග කල යුතු බවයි.

කෙසේවෙතත් පක්ෂයේ ප‍්‍රචාරක හා ජනසන්නිවේදන ලේකම් අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු පැවසුවේ පොදුජන පෙරමුණ පිහිටුවා තිබෙන්නේ මහින්ද රාජපක්ෂ යන පුද්ගලයා වටේ බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටා සිටින්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වටේ බවත්, මෙවැනි පක්ෂ පුද්ගලයින් නැති විට පක්ෂයත් නැති බවයි. එසේ වුවත් රනිල් වික්‍රමසිංහ මහතා සිටියත් නැතත් එක්සත් ජාතික පක්ෂය නැති නොවන බවයි. එයට හේතුව එක්සත් ජාතික පක්ෂය පුද්ගලයෙක් වටේ බිහිවූව පක්ෂයක් නොවන නිසාවෙන් බවයි.

පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ද පක්ෂ නායකත්වය පිළිබඳ අදහස් පළ කළා. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පත් කර තිබෙන නව නිළධාරි මණ්ඩලයත් සමග ඉදිරියේදී එකමුතුව පක්ෂ නායකත්වය සමග දැවැන්ත සංවිධානයක් ඇති කිරීමට හෙට සිට කටයුතු ආරම්භ කරන බවයි.

සිදුවිය යුත්තේ ඔලූගෙඩි මාරු නොව තනතුරු මාරුව නොව පාක්ෂිකයින්ගේ අපේක්ෂා ඉටු කිරීම බවයි පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙහිදී කියා සිටියා. 

අද පැවැති එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින සැමරුමට පක්ෂයේ ජනපි‍්‍රය චරිත කිහිපයක් එක්ව සිටිනු දැකගත හැකිවූයේ නැහැ. ඒ අතරට අමාත්‍යවරුන් වන මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම් සහ දයා ගමගේද අයත්. 

රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා විදේශගත වීම හේතුවෙන් රැළියට සහභාගී වී සිටියේ නැහැ. රවී කරුණානායක, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර හා රංජිත් අලූවිහාරේද කම්කරු දින රැළියේදී දැකගත නොහැකි වූ බවයි එය වාර්තා කළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.