Saturday, September 21, 2024

General line - 0115112241

මැයි දිනය අද සැමරෙයි

තරංග රුක්ෂාන් ජයසේකර/සජිත් තිලකරත්න




මැයි පළමු වැනිදාට යෙදී තිබූ ලෝක කම්කරු දිනයේ, මෙරට සැමරුම් කිහිපයක් අද (07) පැවැත්වෙනවා. අදාළ සැමරුම් අද දිනයට කල් දැමුණේ වෙසක් සතිය හේතුවෙන්. 

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සිය කම්කරු දින රැළිය අද පවත්වන්නේ මඩකලපුවේදීයි. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් චෙන්කලාඩි කී‍්‍රඩාංගනයේදී පස්වරු 02.00ට රැළිය ආරම්භ වනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පක්ෂ මහ ලේකම්  අමාත්‍ය දුමින්ද දිසානායක සඳහන් කළේ  'ජාතිය සමෘද්ධිය වෙනුවෙන් කම්කරු බලය' තේමා කරගනිමින් මෙවර කම්කරු දිනය සමරන බවයි.

ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණේ කම්කරු දින සැමරුම් රැළිය අද පැවැත්වෙන්නේ ගාල්ල සමනල කි‍්‍රඩාංගනයේදීයි. ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.  ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගාල්ල දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කළේ සිය මැයි රැළිය සඳහා ලංකාව පුරාම ජනතාවගේ දැවැන්ත සහභාගීත්වයක් බලාපොරොත්තුවෙන් සිටින බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින රැළිය අද පැවැත්වෙන්නේ කොළඹ බී. ආර්. සී. පිටියේදීයි. පස්වරු 1.00 ට බොරැල්ල කැම්බල් පිටියෙන් පෙළපාලිය ආරම්භ වනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් කියා සිටියේ සමාජ සාධාරණත්වය සහ ජාතික සමගිය ගොඩනගන ජනතාවාදී පාලනයක් තේමාව යටතේ සිය මැයි රැළිය උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කෙරෙන බවයි.

ජාතික හෙළ උරුමයද අද සිය කම්කරු දින සැමරුම කොළඹදී පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. කම්කරු දිනය යෙදී තිබූ ඉකුත් පළමුවනදා ද දේශපාලන පක්ෂ කිහිපයක් සිය කම්කරු දින සැමරුම් පැවැත්වුවා. එක්සත් ජාතික පක්ෂයේ කම්කරු දින සැමරුම ඊයේ (06) පැවැත්වුයේ කොළඹ සුගතදාස ගෘහස්ත කි‍්‍රඩාංගනයේදීයි.