Saturday, September 21, 2024

General line - 0115112241

එකවරම පොහොර ඉල්ලුම වැඩි වෙලා

සජිත් තිලකරත්න




පොහොර සහනාධාරය හේතුවෙන් පොහොර ඉල්ලූම ක්ෂණිකව වැඩිවී ඇතැයි පොහොර ලේකම් කාර්යාලය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ මීට පෙර පොහොර වෙනුවට මුදල් ආධාර ලබා දුන්නේ බෝග 06කට පමණක් බවයි. වී, අර්තාපල්, බඩඉරිඟු, සෝයා, මිරිස් සහ ළුණු එම බෝග වනවා.

ඒ සඳහා වසරකට වැය වූ මුදල රුපියල් බිලියන 15ක්. පසුව තීරණය කෙරුණේ සියලූ බෝගවලට පොහොර සහනාධාරය ලබා දීමටයි. ඒ අනුව දැන් රුපියල් බිලියන 33.2ක වියදමක් ආණ්ඩුවට වසරකට දැරීමට සිදුවනු ඇති.

පොහොර සහනාධාරයත් සමග පොහොර ඉල්ලූම ඉහළ යාම මෙම තත්ත්වයට හේතුවයි. පොහොර වෙනුවට මුදල් දීමට වඩා පොහොර ලබා දීම වඩා ඵලදායී බවයි පොහොර ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.

කෙසේවෙතත් ඉකුත් සමයේ යල කන්නය ආරම්භයේදී පොහොර හිඟයක් පැවැති බවට විවිධ වාර්තා පළවුණා. වී වගාවට යොදන මඩ පොහොර යල කන්නය ආරම්භයේ ගොවීන්ට ලබා ගැනිමේදී ගැටලූ මතුවූ බවයි නෙත් නිවුස් සොයා බැලීමකදී හෙළිවුණේ. ඊට විසඳුමක් ලෙස රජයේ සමාගම්වලින් පමණක් නොව කැබිනට් අනුමැතිය ඇතිව පෞද්ගලික සමාගම්වලින්ද පොහොර මෙටි‍්‍රක් ටොන් 7,000ක් ලබා ගත් බව පොහොර ලේකම් කාර්යාලය වැඩිදුරටත් ප‍්‍රකාශ කළා.