Sunday, December 22, 2024

General line - 0115112241

ගාල්ලට මහ වැසි : පවුල් 1960 ක් පිඩාවට (PHOTOS)

රවින්ද්‍ර චන්ද්‍රලාල් - ගාල්ල




ගාල්ල දිස්ත්‍රික්කයට අද (13) අළුයම සිට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා පවුල් 1960 අසරණවී ඇති බව ගාල්ල වැඩ බලන දිසාපති ප්‍රදීප් රත්නායක පවසනවා.

මේ නිසා ගාල්ල නගරය ආශ්‍රිත පහත් බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

ගාල්ල දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල කඩවත්සතර, අක්මීමණ, බෝපේ පෝද්දල හා බලපිටිය යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමා වලට දැඩි අලාභ හානි සිදු වී තිබිණි. ගාල්ල වැඩ බලන දිසාපති ප්‍රදීප් රත්නායක පවසන පරිදි මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමා හතර තුළ පවුල් 1960 කට අයත් පුද්ගලයින් 7736 දෙනෙකු මේ හේතුවෙන් පීඩාවට පත් වී ඇති බවයි. 

ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමාව තුළ පවුල් 1509 කට අයත් සාමාජිකයින් 6061 ක් ද බෝපේ පෝද්දල පවුල් 92 කට අයත් සාමාජිකයින් 406 ක් ද, බලපිටිය පවුල් 180 කට අයත් සාමාජිකයින් 560 ක්ද අක්මීමණ පවුල් 179 කට අයත් පවුල් 709 ක් ලෙස වෙයි. 

එසේම දිස්ත්‍රික්කය තුල නිවාස හානිවීම් 150 ක් ද පස් කදු කඩා වැටීම් 20 කට ආසන්න ප්‍රමාණයක් ඇති බව ද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි. කෙසේ නමුත් පීඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් පිසු ආහාර ලබා දීම දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ලබා දීම මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.

මෙම ජල ගැලීම් තත්වය නිසා ගාල්ල දංගෙදර , ගල්වඩුගොඩ, කනම්පිටිය, දේද්දුගොඩ, ඩික්සන් හන්දිය, සරෙන්තුකඩේ, ගාල්ල කොග්ගල කඩේ හන්දිය,සමඟිවත්ත, ඩිඩිස්වත්ත, කලේගාන හන්දිය, නුගදුව ඇතුළු ප්‍රදේශ ජලයෙන් යට වී තිබෙනවා. මොරගොඩ ඇළ පිටාර ගැනීම නිසා මෙම තත්වය ඇති වීමට හේතුවයි.

ජල ගැලීම් තත්වය නිසා අදාල ප්‍රදේශ වල ජනතාව දැඩි අපහසුතාවයට පත් වී තිබිණි.කෙසේ නමුත් ගාල්ල ප්‍රදේශයට ඊයේ (12) දින පෙරවරු 8.00 සිට අද (13) දින පෙරවරු 6.00 දක්වා මී.මී 166.7ක පමණ වර්ෂාපතනයක් ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ගාල්ල කාර්යාලය සඳහන් කරනවා.