Sunday, December 22, 2024

General line - 0115112241

ජනපතිගේ තීරණයක් 16යේ කණ්ඩායම හෙළි කරයි

සජිත් තිලකරත්න/ලහිරු කපුගේ




නියෝජ්‍ය කථානායක ධූරය සම්බන්ධයෙන් මේ වනවිට දේශපාලන වේදිකාවේ දැඩි කථා බහක් මතුව තිබෙනවා.

16යේ කණ්ඩායම නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක ධූරය දරන පාර්ලිමේන්තු මන්ති‍්‍ර තිලංග සුමතිපාල ද ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත්වුණා. එම කණ්ඩායම පසුව තීරණය කළේ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමටයි. ඒ සමගම තමා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉවත් වන බව මන්ති‍්‍රවරයා ප‍්‍රකාශ කළා. ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කිරිමටයි ඔහු පියවර ගත්තේ. 

කෙසේවෙතත් දේශපාලන විචාරකයින් පවසන්නේ ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දීමෙන් පමණක් නියෝජ්‍ය කථානාකවරයෙකුට ධුරයෙන් ඉවත් විය නොහැකි බවයි. ඒ සඳහා ජනාධිපතිවරයාගේ තීරණයද අත්‍යාවශ්‍ය වනවා. පාර්ලිමේන්තුවටද ඒ සම්බන්ධයෙන් පියවරක් ගත හැක්කේ ජනාධිපතිවරයාගේ තිරණය කථානායකවරයාට දැනුම් දීමෙන් පසුවයි. එහෙත් නියෝජ්‍ය කථානායකධූරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙතෙක් සිය ස්ථාවරය ප‍්‍රකාශයට පත් කර නැහැ. 

එහෙත් නෙත් නිවුස් වෙත විශේෂ ප‍්‍රකාශයක් සිදු කළ 16යේ කණ්ඩායමේ සාමාජිකයින් ජනාධීපතිවරයාගේ තිරණය පිළිබඳ අදහස් පළ කළා.

හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ,

"නියෝජ්‍ය කතානායක ධූරය හිස්ව නැහැ. තිලංග සුමතිපාල මැතිතුමා ඉල්ලා අස්වෙන්න ලියුම දුන්නා. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එක්ව සාකච්ඡා කරලා තීරණයක් ගන්න ඕනේ කියලා කිව්වා. ජනාධිපතිතුමාගේ තීරණය තමයි තිලංග සුමතිපාල මැතිතුමා තව දුරටත් නියෝජ්‍ය කතානායක ධූරයේ සිටිය යුතුයි කියන එක. ඉස්සරහට අනෙක් කාරණා ටික තීරණය වෙයි. අපේ තීරණය වුණෙත් එතුමා නියෝජ්‍ය කතානායක ධූරයේ සිටිය යුතුයි කියන එක. ඉතින් ජනාධිපතිතුමාත් ඒ මතය අනුමත කරනවා. ඉතින් මම හිතන්නේ නෑ..තිලංග සුමතිපාල මැතිතුමාට අයින් වෙන්න වෙයි කියලා." යනුවෙනි.

හිටපු අමාත්‍ය ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්නද ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කරමින් සඳහන් කළේ නියෝජ්‍ය කතානායක ධූරයේ මීට පෙරත් විපක්ෂයේ මන්ත්‍රිවරු සිට ඇති බැවින් මෙය අරුමයක් නොවන බවයි.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පවසන්නේ තිලංග සුමතිපාල මන්තී‍්‍රවරයාට නියෝජ්‍ය කථානායකධූරය දැරිය නොහැකි බවයි. ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමටද එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ති‍්‍රවරුන් තීරණය කර තිබෙනවා. 

කෙසේවෙතත් නියෝජ්‍ය කථානායකවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි 16යේ කණ්ඩායම මේ අතරතුර පැවසුවේ.