Sunday, December 22, 2024

General line - 0115112241

දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් රට පුරා සැමරුම් ඇරඹේ (PHOTOS) (UPDATE)

දිනසේන රතුගමගේ/මාධව කුලසූරිය/ තරංග රුක්ෂාන්/දිල්ෂාන් තුෂාර




රට වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සිහි කිරීම වෙනුවෙන් අද (18) දවස පුරා විවිධ සැමරුම් වැඩසටහන් සංවිධාන කර තිබෙනවා.

යුද්ධ හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි සියළුම හමුදා කදවුරුවල අද පෙරවරුවේ සැමරුම් වැඩසටහන් ආරම්භ වුණා. ඒ, ජාතික ධඡය හා යුද්ධ හමුදා ධඡයන් එසවීමෙන්. එහිදී යුද්ධය වෙනුවෙන් දිවිදුන් රණවිරුවන් සිහි කරමින් විනාඩි 2 ක නිශ්ශබ්දතාවක්ද සිදු කෙරුණා. 

වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය යන ප‍්‍රදේශවලද රණවිරු සැමරුම් පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. 

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය සංවිධානය කළ නමවන රණවිරු සැමරුම් වැඩසටහන වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරාගේ ප්‍රධානත්වයෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී අද (18) උදැසන පැවැත්වුණා.


(එහි ඡායාරූප පහතින් දැක්වෙයි)
 

------------------------------------------------

දිවිපිදූ රණවිරුවන් සිහිකරමින් අද රට පුරා සැමරුම්  

(18-05-2018 06:00)

 

 

එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් දිවිදුන්  රණවිරුවන් සිහි කරමින් උතුරේත් දකුණේත් අද (18) සැමරුම් උත්සව සංවිධාන කර තිබෙනවා.

යුද්ධ හමුදා මූලස්ථානය පැවසුවේ දිවයින පුරා පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක මූලස්ථාන, බලසේනාවන්, ඒකකයන්, පුහුණු පාසල්, රෙජිමේන්තු මධ්‍යස්ථාන හා රණවිරු සුබසාධන මධ්‍යස්ථානවල සැමරුම් පැවැත්වෙන බවයි. පෙරවරු 9.30 ට රණවිරු සැමරුම් ආරම්භ වනු ඇති. 

ආරක්‍ෂක අංශ සහ ප‍්‍රදේශවාසීන් එක්ව උතුරේද රණවිරු සැමරුම් සංවිධාන කර ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවා.

දකුණේද සිවිල් සංවිධාන හා දේශපාලන පක්‍ෂ එක්ව රණවිරු සැමරුම් වැඩසටහන් සංවිධාන කර තිබෙනවා. ජාතික හිමිකම් සංවිධානයේ 9 වන රණවිරු විජයග‍්‍රහණ සැමරුම අද පැවැත්වෙන්නේ ගලිගමුව සංගප්පාලි ග‍්‍රාමයේදීයි.

ජාතික හෙළ උරුමයද අද දිනයේ රණවිරු සැමරුම් වැඩසටහනක් සංවිධාන කර තිබෙනවා. ජාතික රණවිරු අනුස්මරණ උත්සවය ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (19) පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු කී‍්‍රඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදීයි. 

මේ අතර යුද්ධයේදී දිවි පිදු රණවිරුවන් සිහි කර ති‍්‍රවිධ චෛත්‍ය වෙත සතියක් පුරා පහන් විසි නව දහසක් පූජා කිරීමේ රණවිරු කෘතගුණ ප‍්‍රදීප පූජාව අදත් පැවැත්වෙනවා. ඒ, හෝකන්දර දක්‍ෂිණාරාම විහාරස්ථානයේදීයි. මේ සදහා මාධ්‍ය අනුග‍්‍රහය දක්වන්නේ නෙත් එෆ් එම් රේඩියෝවයි. එම වැඩසටහන පිළිබඳව අදහස් දක්වන හෝකන්දර දක්‍ෂිණාරාමාධිපති පූජ්‍ය ආචාර්ය මාදුරුවේ ධම්මිස්සර හිමි සඳහන් කළේ අද එම වැඩසටහන සිදු කෙරෙන්නේ හය වන දිනට බවයි.