Sunday, December 22, 2024

General line - 0115112241

විදුලි ඉංජිනේරුවන් රජයේ වාහනවලින් ගිහින් ‘මහජන උපයෝගීතා කොමිෂන් සභාවට‘ පෝස්ටර් ගහලා - කතානායකට දිගු ලිපියක්




රජයේ සම්පත් උපයෝගීකර ගනිමින්  ව්‍යවස්ථා සභාවේ එකගත්වය සහිතව පත් කළ ‘මහජන උපයෝගීතා කොමිෂන් සභාවට‘ එරෙහිව අත් පත්‍රිකා බෙදීම හා පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීම හා මතුවන තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය කතානායක කරූ ජයසූරිය මහතා වෙත

සම්පූර්ණ ලිපිය පහතින් කියවන්න

 

ප්‍රිය කථානායකතුමනි,

රජයේ සම්පත් උපයෝගීකර ගනිමින්  ව්‍යවස්ථා සභාවේ එකගත්වය සහිතව පත් කළ මහජන උපයෝගීතා කොමිෂන් සභාවට‘ එරෙහිව අත් පත්‍රිකා බෙදීම හා පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කිරීම හා මතුවන තත්වය සම්බන්ධයෙනි

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්, ලිපිකරුවන්, කාර්යාල කාර්ය සහායකයින් හා මෑන් පවර් සේවකයින් කාර්යාලීය වේලාවේ ‘මහජන උපයෝගීතා කොමිෂන් සභාවට‘ එරෙහිව පෝස්ටර් ගැසීම සදහා රජයේ වාහන යොදවා භාවිත කිරීමක් 2018 මැයි 15 දින සිදුව ඇත. මේ පිළිබද මා විසින් විදුලි ඉංජිනේරුවරයෙකු විමසා බැලූ අතර ඔහු ද එම අවස්ථාවට සහභාගි වූ බව තහවුරු කළේය. 

ව්‍යවස්ථා සභාව විසින් පත් කළ ‘මහජන උපයෝගිතා කොමිෂන් සභාවට එරෙහිව‘ විදුලිබල මණ්ඩලය දැවැත්ත ප්‍ර‍චාරක ව්‍යාපාරයක් දියත් කර ඇති බව ඔබතුමන්ලා ද දන්නේ යැයි සිතමි. මෙයට අමතරව, විදුලිබල අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, රාජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා, විදුලිබල ලේකම් සුරේන් බටගොඩ විසින් ද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දමිත් කුමාරසිංහ ඉවත් කිරීම සදහා වන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරති. 

ව්‍යවස්ථා සභාවේ එකගත්වය මත ගරු අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ ‘මහජන උපයෝගීතා කොමිෂන් සභාව‘ ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 ක ඡන්දයෙන් පමණී. මේ බව දැන දැනම, කොමිෂන් සභාවට එරෙහිව කාර්යාල වේලාවන් හි, රජයේ වාහන යොදා ගනිමින්, අත්පත්‍රිකා, පෝස්ටර් ගැසීම තුළ අත්තේ බලහත්කාරයෙන් යම් කටයුත්තක් සිදු කරවා ගැනීම ය.

විදුලිබල මණ්ඩලය යටත් වන විෂය කේෂ්ත්‍ර‍ය නියාමනය කිරීම සදහා ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවෙන් බලය ලැබී ඇති කොමිෂන් සභාවක් ඉලක්ක කොට ගෙන මහජන මුදල්, සම්පත් යොදා ගනිමින් මෙලෙස ප්‍ර‍හාර එල්ල කිරීම යහපත් පුර්වාදර්ශක් විය නොහැකිය. නුදුරේම දිනක මෙම තත්වය, මැතිවරණ කොමිෂන් සභාව, අල්ලස් කොමිෂන් සභාව, පොලිස් කොමිෂන් සභාව වැනි ඕනෑම ස්වාධීන කොමිෂන් සභාවකට අත්විය හැකිය.   පොලිස් නිලධාරීන් රාජකාරි වේලාවේ පොලිස් කොමිෂන් සභාවට එරෙහිව පෝස්ටර් ගැසීම හෝ රාජ්‍ය සේවකයින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට එරෙහිව හෝ අල්ලස් චෝදනා එල්ලවූ රාජ්‍ය නිලධාරීන්/තැරුව්කරුවන්/කළු සල්ලි  අල්ලස් කොමිෂන් සභාවට එරෙහිව රජයේ සම්පත් භාවිත කරමින්ම පෝස්ටර් ගසමින්, අත් පත්‍රිකා බෙදමින් කටයුතු කිරීම දක්වා වර්ධනය වන්නේ නම් එය අදහා ගැනීමට හෝ නොහැකි තත්වයකි. 

ආසන්නතම සිද්ධිය

කොළඹ ස්ථාන කිහිපයකම අත් පත්‍රිකා බෙදීම සිදුව ඇති බව එයට සම්බන්ධ වූ විදුලිබල මණ්ඩල ඉංජිනේරුවරුන්, සේවකයින් විසින් පිළිගන්නා ලදී.  එබැවින් ඔවුන්ගේ අනන්‍යතාව හෙළි කිරීම අවශ්‍ය නොවේ යැයි සිතමි.

 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා පිහිටවනු ලැබූවේ කුමන කරුණු අරභයා ද? අවම වශයෙන් ව්‍යවස්ථා සභාව වෙත කිසිදු නිල දැනුම්දීමක් හෝ සිදු නොකර මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් වෙත මහජන දේපල යොදා ගෙන මෙවැනි බලපෑමක් සිදු කිරීම ව්‍යවස්ථා සභාවේ දැඩි අවධානයට බදුන් විය යුතු බව මෙයින් යෝජනා කරමි.

තවද, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අර්ථවත්වීමට නම් නියමාන බලය සහිත ආයතන හා ඒවායේ විෂය පථය යටතට ගැනෙන ආයතනයන් හි ක්‍රියාකාරීත්වය/සබදතා සහ ආරවුල් විසදීමේ ක්‍රියාවලිය පිළිබද නිර්ණායක සකස් විය යුතු බව ද, අප සංවිධානයේ අදහස යි.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව සම්බන්ධයෙන් ඇති වී ඇති තත්වය පිළිබදවත්, අනාගතයේ දී ‘අනෙකුත් ස්වාධීන කොමිෂන් සභා සඳහා මෙවැනි තත්වයක් ඇති නොවීම සදහාත්‘ පූර්ව පියවර ගැනීමේ හැකියාව ව්‍යවස්ථා සභාව වෙත පවතී.

එබැවින් මේ පිළිබද ව්‍යවස්ථා සභාවේ කාරුණික අවධානයට මීළග රැස්වීම් වාරයේ දී යොමු කරන මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලමි.

මෙයට විශ්වාසී,

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධානය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය

 

පිටපත්

1.         ව්‍යවස්ථා සභාවේ සියළුම සාමාජිකයින් වෙත

2.         සභාපති/මැතිවරණ කොමිෂන් සභාව

3.         සභාපති/පොලිස් කොමිෂන් සභාව

4.         සභාපති/අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව

5.         සභාපති/රාජ්‍ය සේවා කොමිෂන් සභාව

6.         සභාපති/මහජන උපයෝගිතා කොමිෂන් සභාව

7.         සභාපති/තොරතුරු කොමිෂන් සභාව

8.         සභාපති/