Monday, December 23, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගයේ රිය අනතුරු 07 ක් (UPDATE)

දිනුක් හේවාවිතාරණ




අද (20) දිනය තුලදී පැවති අයහපත් කාලගුණයත් සමග දක්ෂිණ හා කටුනායක අධිවේගී මාර්ගයන් හි රිය අනතුරු 07 ක් සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කරනවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩන්ගොඩ හා ගැලනිගම අතරදී වේගය පාලනය කරගත නොහැකිවූ ජීප් රථයක් ආරක්‍ෂිත වැටෙන් එලියට පෙරලියාම හේතුවෙන් එහි ගමන් ගත් කුඩා දරුවෙක් ඇතුළු සිවුදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඉන් කුඩා දරුවාගේ සහ තවත් කාන්තාවකගේ තත්ත්වය බරපතල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ. 

අධික වර්ෂාවත් සමග අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන්ට ඉතා සැලකිලිමත් වන්නැයි පොලිසිය දැනුම් දෙනවා. 

....................................................................................................................................................

අයහපත් කාලගුණය නිසා අධිවේගී මාර්ගය භාවිත කරන අයට උපදෙසක්  

(20-05-2018 14:29)

පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන්ට අවවාදාත්මක උපදේශයක් ලබාදී තිබෙනවා.

ඒ අධිවේගී මාර්ගය භාවිත කරන රියදුරන් තම රථයේ වේගය පැයට කිලෝමීටර් 60 ක් ලෙස රඳවා ගන්නා ලෙසයි. පවතින නිතිය අනුව පැයට කිලෝමීටර් 100 ක වේගයෙන් වාහන ධාවනය කිරීමට අවසර තිබෙන බවත් යම් අවස්ථාවලදී මාර්ගය ලිස්සන සුළු වීම් හේතුවෙන් හදිසි අනතුරු වලක්වා ගැනීමට වාහනයේ වේගය පාලනය කරගත හැකි මට්ටමක තිබීම උපකාරී වන බවයි අධිවේගී මාර්ග පාලන අංශය සඳහන් කරන්නේ.

උපරිම වේගය රඳවා නොගැනීම සම්බන්ධයෙන් වාහන රියදුරන්ට එරෙහිව කිසිදු දඩ මුදලක් නියම නොකරන බවත් කටුනායක-කොළඹ හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැන්වීම් පුවරු හරහා වේගසීමාව ගැන රියදුරන් දැනුවත් කිරීමට අධිවේගී මාර්ග මෙහෙයුම් අංශය විසින් කටයුතු යොදා තිබෙනවා.