Saturday, January 18, 2025

General line - 0115112241

කිම් ජොන් හා ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව අවිනිශ්චිතයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සැලසුම් කල පරිදි ජුනි 12 වනදාට අමෙරිකාව සහ උතුරු කොරියානු නායක හමුව පැවැත්වීම අවිනිශ්චිත තත්ත්වයක පවතින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (22) දකුණු කොරියානු නායක මුන් ජේ-යින් ගේ අමෙරිකානු සංචාරය අතරවාරයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. උතුරු කොරියාව සහ අමෙරිකාව අතර පැවැත්වීමට නියමිත සාකච්ජා වේ ප්‍රධාන පහසුකම් සපයන්නා වන්නේ දකුණු කොරියාවයි.

දකුණු කොරියානු නායකයා විසින් අමෙරිකාවේ සංචාරය කිරීමට සැලසුම් කර තිබුනේ මෙම ඓතිහාසික හමුවට පෙර සිටයි. කෙසේ වුවත් දකුණු කොරියාව සමග පවත්වන සියලුම සාකච්ජා නතර කිරීමට උතුරු කොරියාව කටයුතු කලේ මිට සති දෙකකට ඉහතදීයි.

යම් හෙයකින් මෙම සමුළුව ජුනි 12 වෙනිදා නොපැවැත්වුවත් ඉතා නුදුරු දිනයකදීම පැවැත්වීමට හැකි වනු ඇති බවට අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

අමෙරිකාව සමග සාකච්ජාවට පෙර තම න්‍යෂ්ටික පරික්ෂා කිරීමේ බලාගාරය විනාශ කිරිමට උතුරු කොරියාව මිට පෙර ප්‍රකාශ කර තිබු අතර එයට දින යෙදී ඇත්තේද මෙම සතියේදීම වීම විශේෂත්වයක්. ලෝක දේශපාලක විචාරකයින් සඳහන් කරන්නේ උතුරු කොරියාව අමෙරිකාව සමග සාකච්ජා කරනවද නැද්ද යන්න ගැන දැනගැනීමට මෙම අවස්ථාව පිටුවහලක් වන බවයි.