Sunday, May 12, 2024

General line - 0115112241

බලපෑම් කළොත් පැය 48 අඛණ්ඩ වර්ජනයක් කරනවා - පස්වරුවේ දුම්රිය ප්‍රමාධයක් (UPDATE)

කසුන් කැලුම් /සජිත් තිලකරත්න




දුම්රිය තාක්ෂණික ශිල්පීන් ඇතුළු වෘත්තීය සමිති 40ක් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක‍්‍රියාත්මක වනවා. කෙසේ වෙතත් බාධාවකින් තොරව සාමාන්‍ය අයුරින් දුම්රිය ධාවනය කෙරෙන බවයි බලධාරීන් පවසන්නේ. සිය සංගම්වල සමස්ත සේවකයින් මේ වනවිට සේවයෙන් බැහැරව සිටින බවයි දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය කමිටු ලේකම් කමල් පීරිස් නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ. 

සිය වෘත්තීය ක‍්‍රියාමාර්ගය අඩපණ කිරීමට ආණ්ඩුව විවිධ උත්සහ දරමින් සිටින බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස් පී විතානගේ පැවසුවා. 

තම සාමාජිකයින්ට බලපෑම් එල්ල කළහොත් පැය 48කට ක‍්‍රියාත්මක කර ඇති වැඩ වර්ජනය අඛණ්ඩ වැඩ වර්ජනයක් බවට පත් කරන බවද දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැ`දවුම්කරු එස් පී විතානගේ වැඩිදුරටත් සඳහන් කළා. 
 

වැඩබලන ප‍්‍රවාහන අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවේ වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක වුවද අද පෙරවරුවේ ධාවනය නොවුණේ දුම්රිය දෙකක් පමණක් බවයි.  

කෙසේ වෙතත් අද පස්වරුවේ දුම්රිය ප‍්‍රමාදයක් පැවති බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. 

------------------------------------------------

දුම්රිය තාක්ෂණික ශිල්පීන් ඇතුලූ වෘත්තීය සමිති 40ක් ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (30) උදෑසන දුම්රිය ගමන්වාර කිහිපයකට බාධා එල්ල වුණා. ඇතැම් දුම්රියන් නියමිත වේලාවට ධාවනය නොවූ බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ. 

මේ හේතුවෙන් මගීන් රැසක් පිඩාවට පත්වූණා. දුම්රිය තාක්ෂණික ශිල්පීන් ඇතුලූ වෘත්තීය සමිති කිහිපයක් මෙලෙස ඊයේ (29) පස්වරු 04 සිට පැය 48ක වර්ජනයක නිරත වන්නේ ඉහළ දැමූ දුම්රිය ශ්‍රේණි කිහිපයක වැටුපට සාපේක්ෂව අනෙක් සේවක වැටුපද වැඩි කරන ලෙස රජයට බල කරමින්. 


කෙසේවෙතත් දෛනිකව ධාවනය කෙරෙන දුම්රිය 375න් අද දිනයේ දුම්රිය 360කට වැඩි ප‍්‍රමාණයක් ධාවනය කිරීමට බලාපොරොත්තු වන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. ප‍්‍රමාදයන් සිදුවුවද අද උදෑසන සියලූ කාර්යාල දුම්රියන් කොළඹ කොටුව දක්වා ධාවනය වූ බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. 

කෙසේවෙතත් වර්ජනයේ නිරත දුම්රිය සේවකයින්ට බලපෑම් සිදු කළ හොත් පැය 48 වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා ඉදිරියට ගෙන යන බවයි දුම්රිය තාක්ෂණික සේවා වෘත්තීය සමිතිය පැවසුවේ.
 

.......................................................................................................................................................

ලූණුවිල දුම්රිය ස්ථානයේ කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් - උදෑසන කාර්යාල දුම්රිය ගමන් ප‍්‍රමාදවෙයි

(30-05-2018 06:52)

දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ පැය 48ක වර්ජනය හේතුවෙන් අද (30) උදෑසන කාර්යාල දුම්රිය කිහිපයක ප‍්‍රමාදයක් සිදුව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේවනවිට කිසිඳු දුම්රිය ගමන් වාරයක් අවලංගු කර නොමැති බවයි.  

අද උදෑසන ලූණුවිල දුම්රිය ස්ථානයේ සංඥා පද්ධතියේ රැහැන් කිසියම් පිරිසක් විසින් කපා දමා තිබෙනවා. දුම්රිය එන්ජින් 04ක් කි‍්‍රයාවිරහිත තත්ත්වයේ සහ බලවේග කට්ටල 03ක කේබල් පද්ධති ගලවා දමා ඇති බවයි අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී ආචාර්ය විජය සමරසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියේ.

.......................................................................................................................................

වර්ජනයෙන් දුම්රිය ධාවනයට අදත් බාධා. - රාති‍්‍ර තැපැල් දුම්රියත් ප‍්‍රමාදයි

(30-05-2018 06:52)

දුම්රිය තාක්ෂණ සේවා  වෘත්තීය සමිති කමිටුව ආරම්භ කළ පැය 48 සංකේත වර්ජනය හේතුවෙන් අද (30) උදෑසන කාර්යාල දුම්රිය ධාවනයට බාධා එල්ල විය හැකි බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. ඉහළ දැමූ දුම්රිය ශ්‍රේණි කිහිපයක වැටුපට සාපේක්ෂව අනෙක් සේවක වැටුප් ද වැඩිකිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙම වර්ජනයේ අරම්භ කළේ ඊයේ පස්වරු 04ටයි. 

ඊට දුම්රිය ස්ථාන, ධාවනාගාර, අංගන ඇතුළු දුම්රිය සේවයට සම්බන්ධ සේවකයින් 12,000ක් පමණ එක්ව සිටිනවා. දහවල් වනවිට මෙම තත්ත්වය උග‍්‍ර වනු ඇති බවයි දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව පැවසුවේ. එහි ලේකම් එම් ඒ රත්නසිරි පැවසුවේ දැනට ධාවනය වන දුම්රිය සිය ගමන් වාරය අවසන් වීමෙන් පසු යලි ධාවනය කිරීමට පෙර එහි එංජින් හා මැදිරි සුදානම් කිරීම සිදුකරන්නේ තාක්ෂණික ශිල්පින් මේ වන විට වැඩවර්ජනයට සම්බන්ධ වී සිටින නිසා අද දහවල් වන විට දුම්රිය ධාවනයට බලපෑම් එල්ල විය හැකි බවයි.

මේ අතර ධාවනයට එක්කළ දුම්රිය  එන්ජින් තුනක් ඊයේ (29) පස්වරුවේ ක‍්‍රියා විරහිත වූ අතර දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මෙය කඩාකප්පල්කාරී ක‍්‍රියාවක්දැයි සැක මතුවන බවයි. කෙසේවෙතත් වර්ජනයේ නිරත කිසිඳු දුම්රිය සේවකයෙකු එවැන්නක් සිදු කර නොමැති බවයි දුම්රිය තාක්ෂණ සේවා  වෘත්තීය සමිති කමිටුවේ ලේකම් එම් ඒ රත්නසිරි නෙත් නිවුස් වෙත පැවසුවේ.

මේ අතර මෙම වර්ජනය හේතුවෙන් කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන රාති‍්‍ර තැපැල් දුම්රිය කිහිපයක් ප‍්‍රමාද වී තිබෙනවා. ඊට හේතුවී ඇත්තේ අංගනයෙන් පැමිණෙන ඇතැම් දුම්රියවල කේබල් පද්ධති කි‍්‍රයාවිරහිත කර තිබීමයි. කෙසේවෙතත් පසුව යළි එම දුම්රියන් යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු ධාවනයට එක් කර තිබුණා.

මේ අතර මෙම වර්ජනය හේතුවෙන් සියලූ දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළා. සේවයට වාර්තා නොකරන අනියම් ආදේශක හා කොන්ත‍්‍රාත් සේවකයින් දුම්රිය තාක්ෂණ සේවකයින් සේවය හැරගියා සේ සලකන බවයි එම  දෙපාර්තමේන්තුව පැවසුවේ. වෘත්තීය සමිති කිහිපයක් ඊයේ පස්වරුවේ ආරම්භ කළ පැය 48 වර්ජනයත් සමග එම සේවකයින්ගේ නිවාඩු අවලංගු කළ බව එම දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. මෙලෙස වහාම සේවයට වාර්තා කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණේ.

......................................................................................................................................

දුම්රිය සේවකයින්ට හදිසි නිවේදනයක් 

(29-05-2018 19:04)

දුම්රිය තාක්ෂණික සේවාවලට අදාල, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් සේවකයින්ට වහාම සේවයට වාර්තා කරන ලෙසත්, නැතහොත් සේවය හැර ගියාසේ සලකන බව නිවේදනය කෙරේ. 

මේ අතර මරදාන ඩීසල්-විදුලි ධාවනාගාරයේ දුම්රිය එන්ජින් තුනක් හදිසියේ අක්‍රීය වීම පිළිබඳ  පරීක්ෂණ ක්ක්‍රියාත්මක කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ප්‍රකාශ කර සිටිනවා.

........................................................................................................................................

දුම්රිය එංජින් 03 ක් හදිස්සියේ ක්‍රියා විරහිත වෙයි : පැය 48 දුම්රිය වර්ජනයත් ඇරඹේ 

(29-05-2018 19:04)

දුම්රිය තාක්ෂණ සේවා  වෘත්තීය සමිති කමිටුව ආරම්භ කළ පැය 48 සංකේත වර්ජනය මේ වනවිට ක‍්‍රියාත්මකයි. ඉහළ දැමූ දුම්රිය ක්ෂේණි කිහිපයක වැටුපට සාපේක්ෂව අනෙක් සේවක වැටුප් ද වැඩිකිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඔවුන් මෙලෙස වර්ජනයේ නිරත වනවා. මෙම වර්ජනය සදහා දුම්රිය ස්ථාන, ධාවනාගාර, අංගන ඇතුළු දුම්රිය සේවයට සම්බන්ධ සේවකයින් දොලොස් දහසක් පමණ එක්ව සිටින බවයි එම කමිටුව පැවසුවේ. වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල විය හැකි බවද එම කමිටුව සදහන් කළා. මේ එහි ලේකම් එම් ඒ රත්නසිරි.

මෙම වර්ජනයෙන් දුම්රිය ගමන්වලට මෙතෙක් බාධා එල්ල වී නොමැති බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ. කෙසේ වෙතත් ධාවනයට එක්කළ දුම්රිය  එන්ජින් තුනක් මේ වනවිට ක‍්‍රියා විරහිත වී ඇති බව දුම්රිය පාලක මැදිරිය පැවසුවා. මේ පිළිබද කළ විමසීමකදී අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි ආචාර්යය විජය සමරසිංහ ප‍්‍රකාශ කළේ කඩාකප්පල්කාරී ක‍්‍රියාවක්දැයි සැක මතුවන බවයි.

කෙසේ වෙතත් හෙට උදෑසන සිට දුම්අරිය ගමන්වලට බාධා එල්ල විය හැකි බවද ඔහු ප‍්‍රකාශ කළා. දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ මෙම වරිජනය හේතවෙන් දුම්රිය රියදුරන්ගේ, නියාමක වරුන්ගේ හා දුම්රිය දෙපාර්තමේන්තුවට අනියුක්ත සියලූ සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමටද  එම දෙපාර්තමේන්තුව තීරණය කළා. කෙසේ වෙතත් මෙම වර්ජනයට දුම්රිය රියදුරන්ගේ සංගමය එක් නොවන බවයි එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ නෙත් නිවුස් වෙත සදහන් කළේ.