Monday, May 6, 2024

General line - 0115112241

සෞදි අරාබිය ලිංගික හිරිහැර පිළිබඳ ගත් අලුත්ම තීන්දුව




සෞදි අරාබිය ලිංගික අපයෝජනය, ලිංගික අඩත්තේට්ටම් හා හිරිහැර කිරීම් යනාදිය නෛතික වැරැදි ලෙස නම් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා  වෙනවා. 

දැඩි සම්ප්‍රදායවාදී සෞදි රාජධානිය දශක ගණනක් මුළුල්ලේ කාන්තාවන්ට පනවා තිබූ රිය පැදවීමේ තහනම ඉවත් කර මසක් යන්නටත් පෙර මෙම තීරණය ගෙන තිබෙනවා. 
 
සෞදි අරාබියේ කැබිනට් මණ්ඩලයට උපදෙස් ලබාදෙන ‘ෂූරා’ කවුන්සිලය අදාළ නීති කෙටුම්පත අනුමත කර තිබෙන අතර ලිංගික අපයෝජනය, ලිංගික අඩත්තේට්ටම් හා හිරිහැර කිරීමකට වසර පහකින් පටන් ගන්නා සිර දඬුවමක් සහ රියාල් 300,000 (එක්සත් ජනපද ඩොලර් 80,000) දඩයක් පැනවීමට නියමිතයි. 
 
සෞදි කාන්තාවන්ට රිය පැදවීම සඳහා පනවා තිබූ නීතිය ජූනි මස 24 වැනිදා සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙන අතර එම ක්‍රියාමාර්ගය සෞදියේ ඔටුන්න හිමි මොහොමෙද් බින් සල්මාන් කුමරුගේ සෞදිය ලිබරල්කරණය කිරීමේ වැඩසටහනේ එක් පියවරක් වශයෙන් හඳුන්වනවා.