Sunday, May 19, 2024

General line - 0115112241

ජනපතිගේ ආන්දෝලනාත්මක ප්‍රකාශයට නිල ප්‍රතිචාර දැක්වීමට එජාපය සැරසේ

ඩිල්ෂාන් මඩවල/සමන්ත කුමාර/දිල්ශාන් තුෂාර




ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (30) කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දැක්වීමට එක්සත් ජාතික පක්ෂය කල් ඉල්ලා සිටිනවා.

එහි නියෝජිතයින් කිහිප දෙනෙකුගෙන්ම නෙත් නිවුස් ඒ පිළිබඳ විමසා සිටියත් ඔවුන් පැවසුවේ ප‍්‍රතිචාර දැක්වීමට පෙර එම ප‍්‍රකාශ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කළ යුතු බවයි.

සිය ජ්‍යෙෂ්ඨ නියෝජිතයෙකු අද හෝ හෙට දිනය ඇතුළත මීට නිල ප‍්‍රතිචාර දක්වනු ඇතැයි ද එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් නියෝජිතයින් කියා සිටියා. 

තමන් බලයට පත්වීමෙන් පසු ක‍්‍රියාත්මක කෙරුණු දින සියයේ වැඩපිළිවෙල තමන්ගේ අනුදැනුමක් නොමැතිව සකස් කළ එකක් බවයි ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ. තමන් බලයට පත්වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා නොහැර එවැනි වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම දේශපාලනිකව වැරදි තීන්දුවක් බවද ජනාධිපතිවරයා පැවසුවා. 

මේ අතර ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඔහුගේ නිවෙස වෙත යාමට හෙලිකොප්ටර් ලබාදීමද තමන්ගේ අනුදැනුමකින් තොරව සිදුවූවක් බවයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ කියා සිටියේ. 

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉහත ප‍්‍රකාශ සිදු කළේ අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ඡන්ම දින සැමරුමකට ඊයේ (30) සහභාගී වෙමින්. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (31) නැවත රැස් වනවා. එහි ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ද මෙහිදී තවදුරටත් සාකච්ඡා කෙරෙනු ඇතැයි අපේක්ෂිතයි.

එක්සත් ජාතික පක්ෂයේ මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම උදෑසන 09.00ට ආරම්භ කිරීමට නියමිතයි.