Saturday, May 4, 2024

General line - 0115112241

සවුදි අරාබියේ හමුදා කඳවුරකට ප‍්‍රහාරයක් (VIDEO)

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සවුදි අරාබියේ තායිෆ් නුවර පිහිටි ජාතික ආරක්ෂක කඳවුරට ප‍්‍රහාරයක් එල්ල වුණා. විදෙස් වාර්තා පවසන්නේ ආරක්ෂක කඳවුරට කඩා වැදුනු තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම ප‍්‍රහාරය එල්ල කර ඇති බවයි. එක් තුවක්කුකරුවෙකු කඳවුරේ සිටි පොලිස් නිලධාරියෙකු ඝාතනය කර ඔහුගේ ආයුධ සහ එහි තිබූ මෝටර් රථයක් පැහැර ගෙන තිබෙනවා.

අනතුරුව තායිෆ් නුවරම පිහිටි හමුදා කඳවුරක් වෙත කඩා වැදුනු තුවක්කුකරුවන් දෙදෙනා එහි සිටි හමුදා නිලධාරීන් ඉලක්ක කර ප‍්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ප‍්‍රහාරයෙන් හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. හමුදා නිලධාරීන් එල්ල කළ ප‍්‍රතිප‍්‍රහාර හමුවේ එක් තුවක්කුකරුවෙකු තුවාල ලබා ඇති අතර ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පළා ගිය අනෙක් තුවක්කුකරු සොයා මෙහෙයුම් කි‍්‍රයාත්මකයි.

ප‍්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිඳු ත‍්‍රස්ත සංවිධානයක් විසින් භාරගෙන නැහැ. එහෙත් සවුදියේ පිහිටි හමුදා ඉලක්කයන් වෙත ප‍්‍රහාර එල්ල කරන ලෙස අයි එස් සංවිධානය හා අල් කයිඩා සංවිධානය ඔවුන්ගේ සාමාජිකයින් වෙත අණ ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

සවුදිය යනු ත‍්‍රස්ත කි‍්‍රයාකාරකම් අවම රටක් ලෙස ප‍්‍රකටව පැවතුනත් ඉරාක හා යේමන යුද්ධයේදී අමරිකාවට සහය දැක්වීම නිසා ඔවුන්ද ත‍්‍රස්ත අවදානමට මුහුණ දී සිටිනවා.