Saturday, April 27, 2024

General line - 0115112241

දුටුගැමුණු රජුගේ බලකොටුවට අයත් බවට සැලකෙන ස්ථානයේ කැණීම් නවතයි (PHOTOS) (UPDATE)




දුටුගැමුණු රජුගේ බලකොටුවට අයත් බවට සැලකෙන විජිතපුර ප‍්‍රදේශයේ සිදු කරන ඉදිකිරීම් වහාම ක‍්‍රියාත්මක වන පරිදි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නතර කරනු ලැබ තිබෙනවා.

ඒ, අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයාගේ ද නිර්දේශ මතයි.

බැකෝ යන්ත‍්‍රයක් යොදා විජිතපුර ප‍්‍රදේශයේ සිදු කරන කැණීම් පිළිබඳ නෙත් නිවුස් අද (04) උදෑසන තොරතුරු වාර්තා කළා. මෙම සිද්ධිය වාර්තා වන්නේ දුටුගැමුණු ආරණ්‍ය සේනාසනයද පිහිටි භූමිය ආසන්න ප‍්‍රදේශයේයි. එළාර රජුගේ බලකොටුවේ පිහිටි බැලූම්ගල නම් වූ පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් කළ ආන්දෝ්ලනාත්මක සිද්ධිය වාර්තා වූයේ ද මෙම විජිතපුර ප‍්‍රදේශයේදීයි. එහි පරීක්ෂණ නිමවීමටත් පෙරයි එම ප‍්‍රදේශයෙන්ම මෙම සිද්ධිය ද වාර්තා වන්නේ. 

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. මණ්ඩාවලගෙන් නෙත් නිවුස් විමසීමක් කළා. ඔහු කියා සිටියේ ආරණ්‍ය සේනාසනයේ කුටි දෙකක් ඉදිකිරීම සඳහා පමණක් එහි භාරකාර හිමිනම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබාගෙන ඇති බවයි. බැකෝ යන්ත‍්‍ර යොදාගෙන කැණීම් සිදු කර ඇත්තේ එම කුටිවලට පිවිසීම සඳහා මාර්ගයක් ඉදිකිරීමට බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ පිළිබඳ අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂවරයා තමාට දැනුම් දුන් බවද පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. මණ්ඩාවල නෙත් නිවුස් වෙත කියා සිටියා. ඒ පිළිබඳ කළ දැනුම් දීමට අනුව ප‍්‍රදේශය භාර පුරාවිද්‍යා බලධාරීන් මේ වනවිට එම කැණීම් තාවකාලිකව අත්හිටුවා ඇති බවයි ප‍්‍රකාශ කෙරුණේ. 

පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ද කැඳවා ඇති බවයි. කැණීම් සිදු කළ ප‍්‍රදේශයේ පුරාවිද්‍යා වටිනාකමක් නොමැති බවට දැනට තොරතුරු ලැබී ඇති බවද ඔහු කියා සිටියා.

එහෙත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි පුරාවිද්‍යා වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පී. මණ්ඩාවල වැඩිදුරටත් පැවසුවේ. 

 

----------------------------------

දුටුගැමුණු රජුගේ බලකොටුවට අයත් බවට සැලකෙන ස්ථානයක තිබෙන බැකෝ යන්ත්‍රය ගැන පැහැදිළි කිරීමක් (UPDATE)

(04-06-2018 09:48)

 

දුටුගැමුණු ආරණ්‍ය සේනාසනය පිහිටි පුරාවිද්‍යා භූමියේ දුටුගැමුණු රජුගේ බලකොටුවට අයත් බවට සැලකෙන විජිතපුර ප‍්‍රදේශයේ පුරාවිද්‍යා ස්ථානයකට හානි සිදු කර ඇතැයි නෙත් නිවුස් වාර්තා කළ පුවත සම්බන්ධයෙන්  දුටුගැමුණු ආරණ්‍ය සේනාසනය පාර්ශ්වයෙන් පැහැදිළි කිරීමක් සිදු කරනවා.

එහි නියෝජිතයෙකු සඳහන් කළේ ඡායාරූපවල දැක්වෙන බැකෝ යන්ත්‍රය මාර්ගය සකස් කිරීම සඳහා රැගෙන ආ එකක් බවයි.

ඉදිකිරීම් සිදු කරන ස්ථානයේ කිසිදු පුරාවිද්‍යා වටිනාකමක් නොමැති අතර එම ස්ථානයේ ඉදිවෙමින් පවතින්නේ භාවනා කුටියක් බවත් සඳහන් කෙරුණා. ඊට අවශ්‍ය ඉදිරිකිරීම් ද්‍රව්‍ය ගැනීම සඳහා මාර්ගය සකස් කරන අයුරු ඡායාරූප ගත කර ලබා දී ඇති බවයි සඳහන් කෙරුණේ.

 

------------------------------

දුටුගැමුණු රජුගේ බලකොටුවේ කොටසකුත් ඩෝසර් කරයි (PHOTOS)

(04-06-2018 08:12)

(කුෂාන් ජයවර්ධන)

 

දුටුගැමුණු රජුගේ බලකොටුවට අයත් බවට සැලකෙන විජිතපුර ප‍්‍රදේශයේ තිබූ තවත් පුරාවිද්‍යා ස්ථානයකට හානි සිදු කර ඇතැයි නෙත් නිවුස් වෙත තොරතුරු අනාවරණ වුණා.

ආන්දෝලනයට තුඩුදුන් එළාර රජුගේ බලකොටුවේ පිහිටි බැලුම්ගල නම් වූ පුරාවිද්‍යා ස්ථානය ඩෝසර් කර තිබුණේද මෙම විජිතපුර ප‍්‍රදේශයේදීයි. එම පරීක්ෂණ නිමවීමටත් පෙර බැකෝ යන්ත‍්‍රයක් යොදා අදාළ ප‍්‍රදේශය හෙළි පෙහෙළි කර ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී හෙළි වුණේ.

මෙම සිද්ධිය වාර්තා වන්නේ දුටුගැමුණු ආරණ්‍ය සේනාසනයද පිහිටි පුරාවිද්‍යා භූමියේයි.  

සිද්ධිය ඇසින් දුටු අංක 493 විජිතපුර සිවිල් ආරක්ෂක කමිටු ලේකම් නලින් විජේසිංහ ඉපලෝගම පොලිසියට ඒ පිළිබඳ පැමිණිල්ලක් ද කර තිබෙනවා. 

සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් ඉපලෝගම පොලිසියෙන් ද විමසීමක් කළා. එහි ස්ථානාධිපතිවරයා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන බවයි.

මෙම ස්ථානය පුරාවිද්‍යා භූමියක්දැයි ස්ථීරවම ප‍්‍රකාශ කළ නොහැකි බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. සිද්ධිය සම්බන්ධයෙන් ඉපලෝගම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අද දිනයේ විශේෂ පරීක්ෂණයක් ද සිදු කිරීමට නියමිතයි.