Wednesday, January 15, 2025

General line - 0115112241

ඉෆ්තාර් උත්සවයට සමගාමිව ඇෆ්ගනිස්තානයේ සටන් විරාමයක්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඇෆ්ගනිස්තානය හා එරට කි‍්‍රයාත්මක තලෙයිබාන් සංවිධානය සටන් විරාමයකට එළඹ තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ ඉස්ලාම් බැතිමතුන්ගේ ඉෆ්තාර් උත්සවයට සමගාමීව දෙපාර්ශවය විසින් මෙලෙස සටන් විරාමයක් කි‍්‍රයාත්මක කර ඇති බවයි. 

පලමුව සටන් විරාම යෝජනාව ගෙන ආවේ ඇෆ්ගනිස්තාන රජයයි. එළඹෙන 20 වනදා වනතෙක් තමන් තලෙයිබාන් සංවිධානය සමග කොන්දේසි විරහිත සටන් විරාමයක් කි‍්‍රයාත්මක කරන බව ඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ගහානි ඊයේ (08) නිවේදනය කළා. එම කාලය තුළදී තලෙයිබාන් සංවිධානයට එරෙහිව කි‍්‍රයාත්මක මෙහෙයුම් අත්හිටුවන ලෙසයි ඇෆ්ගනිස්තාන නායකයා හමුදාවට අණ ලබා දී තිබුණේ. 

රජය සිය ඒකපාර්ශවික සටන් විරාමය ප‍්‍රකාශයට පත් කිරීමත් සමග ඊට ප‍්‍රතිචාර දැක්වූ තලෙයිබාන් සංවිධාන පැවසුවේ තමන්ද දින තුනක සටන් විරාමයක් ප‍්‍රකාශයට පත් කරන බවයි. එහෙත් එම සටන් විරාමය, විදේශීය හමුදා කණ්ඩායම් සඳහා බල නොපැවැත්වෙන බවත්, ඔවුන්ගෙන් ප‍්‍රහාරයක් එල්ල වන  ඕනෑම අවස්ථාවක තමන්ද ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන බවත් තලෙයිබාන් සංවිධානය ප‍්‍රකාශ කළා. 

කෙසේ වෙතත් තලෙයිබාන් සංවිධානය සටන් විරාමයක් සඳහා එළැඹි පලමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.