Friday, May 17, 2024

General line - 0115112241

උතුරු කොරියාව ගැන ට‍්‍රම්ප්ගෙන් යළිත් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් විසින් උතුරු කොරියාවට එරෙහිව පනවා තිබූ ආර්ථික සම්බාධක තවත් වසරකින් දීර්ග කර තිබෙනවා. එම තීරණයට එළඹෙමින් ජනාධිපති ට‍්‍රම්ප් පවසා ඇත්තේ උතුරු කොරියාව තවමත් ජාත්‍යන්තරයට තර්ජනයක් බවයි. ඒ අනුව ඉකුත් 2018 වසරේදී උතුරු කොරියාවට පැනවූ ආර්ථික සම්බාධක යලිත් අලූත් කිරීමටයි ජනාධිපති ට‍්‍රම්ප් පියවර ගෙන ඇත්තේ. 

එහෙත් පසුගියදා සිදුවූ අමෙරිකානු හා උතුරු කොරියානු නායකයින්ගේ ඓතිහාසික හමුවේදී ජනාධිපති ට‍්‍රම්ප් පැවසුවේ උතුරු කොරියාව තවදුරටත් න්‍යෂ්ටික වශයෙන් ජාත්‍යන්තරයට තර්ජනයක් එල්ල නොකරනු ඇති බවයි. ඒ අනුව අමෙරිකාව විසින් උතුරු කොරියාවට යම් සහනයක් ලබා දෙනු ඇති බවට ජාත්‍යන්තර විචාරකයින් බලාපොරොත්තු රඳවා තිබුණා. 

එහෙත් උතුරු කොරියාවට එරෙහිව පනවා තිබූ ආර්ථික සම්බාධක තවදුරටත් දීර්ග කරමින් අමෙරිකාව පැවසුවේ උතුරු කොරියානු රජයේ කි‍්‍රයාකාරකම් හා ප‍්‍රතිපත්තීන් තවමත් සිය රටේ ජාතික ආරක්ෂාවට, විදේශ ප‍්‍රතිපත්තිවලට සහ ආර්ථිකයට තර්ජනයක් බවයි.


(aljazeera.com)