Saturday, May 4, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව පුර්ණ සංවර්ධිත රාජ්‍යයක් කරනවා - අගමැති

සමන්ත කුමාර/ටී කේ ජී කපිල




2050 වසර වනවිට ශ‍්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කරලීම සඳහා අවශ්‍ය පදනම හා සැලැස්ම දැන් සකස් කර අවසන් බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. 

ඉතා අභියෝගාත්මක කාර්යයක් වන එය විවිධ මත දරණ පුද්ගල සමූහයක් සමඟ ඉතා ඉවසිලිවන්තව සහ විමසිලිවන්තව ඉදිරියට ගෙන යා යුතු බවයි අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍යංශය සහ සිංගප්පූරු ව්‍යාපාරික සමුළුව එක්ව සංවිධාන කළ ශ‍්‍රී ලංකා සිංගප්පූරු ව්‍යාපාරික හමුවේ ප‍්‍රශ්නෝත්තර වාරයට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

සිංගප්පූරුවේ ජෑන් ටැංග්ලින් හෝටලයේ පැවති මෙම සමුළුවට සිංගප්පූරු වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස්. ඊෂ්වරන් සහ දෙරටේ ව්‍යාපාරිකයින් හා ව්‍යවසායකයින් විශාල පිරිසක් එක්ව සිටියා. 

ඉන්දීය සාගරයේ ශ‍්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීමේ වැදගත්කම ඉතා හොඳින් අවබෝධ කරගෙන ඇති බැවින් ආර්ථික මූල්‍ය හා සාමාජීය කේන්ද්‍රාස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව සංවර්ධනය කිරීම දීර්ඝ කාලීන ඉලක්කය බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. 

මේ අතර සිය සිංප්පූරු නිල සංචාරය නිම කරමින් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු දුත පිරිස අද (10) පස්වරුවේ යළි දිවයිනට පැමිණියා. 
 .