Thursday, May 9, 2024

General line - 0115112241

උසාවියේ පිස්කල්ට පිහියකින් ඇනීමට තැත්කළ සැකකරුවෙකුට ගොඩකවෙල පොලිසියෙන් අරුම පුදුම ඇපදීමක්

හේමන්ත කහවලගේ




ඊයේ (12) රාජකාරි කටයුත්තක් සඳහා අනවසර ඉදිකිරීමක් ඉවත් කිරීමට ගිය පැල්මඩුල්ල උසාවියේ පිස්කල්වරයාට සහ තවත් පුද්ගලයෙකුට පිහියෙන් ඇනීමට උත්සහ දැරු පුද්ගලයෙකු කිසිදු විභාගයකින් තොරව ගොඩකවෙල පොලිසිය විසින් මුදා හැර තිබෙනවා.

නාගරික සංවර්ධන අධිකාරය විසින් පවරන ලද නඩුවකට අදාලව නීතිවිරෝධී ඉදිකිරීමක් ඉවත් කිරීමට ගිය අවස්ථාවේ මෙම මනුෂ්‍ය ඝාතනයට උත්සහ කර තිබෙන්නේ එම අනවසර ඉදිකිරිම සිදුකර තිබු පුද්ගලයා විසින්.

උසාවි නියෝගයට අනුව අදාළ ඉදිකිරිම කඩා ඉවත් කොට ආපසු පැමිණෙමින් සිටියදී ඔවුන් පැමිණි වාහනය හරස් කොට නතර කර ඇති අදාළ සැකකරු උල්පිහියකින් පිස්කල්වරයාට සහ තවත් පුද්ගලයෙකුට ජිවිත හානි සිදු කිරීමට උත්සහ කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා මේ පිළිබඳව ගොඩකවෙල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙලෙස මනුෂ්‍ය ඝාතනයක් කිරීමට උත්සහ දැරූ පුද්ගලයා සහ ඊට යොදා ගත් ආයුධය පොලිසිය භාරයට ගෙන පැය කිහිපයක් ගතවන්නටත් පෙර ගොඩකවෙල පොලිස් ස්ථානාධිපතිවරයා ඊට පුද්ගලිකව මැදිහත්වී මනුෂ්‍ය ඝාතනයට උත්සහ කළ සැකකරුට ඇප ලබා දී තිබෙනවා.

මනුෂ්‍ය ඝාතනයකට උත්සහ කිරීමත්, ඒ සඳහා යොදා ගත් ආයුධය පොලිසියට හමුවී තිබීමත් යන ස්ථානීය වැරදි පැහැදිලිව දක්නට තිබියදී පවා ගොඩකවෙල ස්ථානාධිපතිවරයා මෙම ඇප දීම සිදු කර ඇත්තේ B වාර්තාවක් හෝ උසාවියට ඉදිරිපත් කිරීමෙන් තොරවයි.

සැකකරු සම්බන්ධයෙන් නිසිපරිදි නීතිය ක්‍රියාත්මක නොකර සැකකරුට ඇප ලබාදීම හේතුවෙන් පහරදීමෙන් දිවිගලවාගත් පිස්කල්වරයාගේ සහ අනෙක් පුද්ගලයාගේ ජිවිත දැඩි අවධානමකට ලක් කිරීමට ගොඩකවෙල පොලිසිය කටයුතු කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ සැකකරු සම්බන්ධයෙන් මිට පෙරද ගොඩකවෙල ප්‍රදේශයේ පුද්ගලයන් ගණනාවකට මරණ තර්ජන සිදුකොට ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පොලිසියේ පැමිණි ගණනාවක් ගොනුවී ඇති බවයි වාර්තා වන්නේ.

මුලික අවස්ථාවේ පොලිසිය විසින් මෙවැනි විමර්ෂණ අතපසු කිරීම හේතුවෙන් අහිංසක මිනිසුන්ට ජිවිත වලින් වන්දි ගෙවීමට සිදු අයුරු අප මෙසේ මතක් කර සිටින්නේ පසුගියදා අනුරාධපුරයේ ඇති වූ ඝාතන සිද්ධියට මුලික පොලිස් පරීක්ෂණ වල දුර්වල තා හේතුවෙන් සිදුවූ දෙයක් බවට මේ වන විට තහවුරු වෙමින් පවතින පසුබිමකයි.