Thursday, May 9, 2024

General line - 0115112241

ඝාතනයකට පැමිණි සැකකරුවන් 05 දෙනෙකු වැලිකඩදී අත්අඩංගුවට

හේමන්ත කහවලගේ




වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවකු බැලීමට පැමිණි කාන්තාවක් ඝාතනය කිරීමට තැත් කළ සැකකරුවන් 05 දෙනෙකු අද (13) අත්අඩංගුවට ගැනුණා. ඒ පොලිස් විශේෂ කාර්යය බලකාය සිදු කළ මෙහෙයුමකදීයි.


අදාළ කාන්තාව බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන අවස්ථාවේදී ඝාතනය කිරිමට සැලසුම් කර තිබූ බවට ලද තොරතුරක් අනුව විශේෂ කාර්යය බලකා සාමාජිකයින් සිවිල් ඇඳුමින් යොදවා තිබූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ.

එහිදී සැකකටයුතු පුද්ගලයෙකු විශේෂ කාර්යය බලකා සාමාජිකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී අත්බෝම්බයක්ද සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ. සැකකරු පැමිණි ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක්ද අත්අඩංගුවට ගැනුණා. 

ඉන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරය තුල සිට පැමිණි තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනය සඳහා පැමිණි තවත් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ තී‍්‍ර රෝද රථයකින් ගමන් කරමින් සිටියදීයි.

එහි තිබී මන්නා පිහියක්ද සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා අනාවරණ කළා. මෙලෙස ඝාතනය කිරීමට සැලසුම් කර ඇත්තේ බන්ධනාගාර ගතව සිටින අයෙකු බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.