Wednesday, December 25, 2024

General line - 0115112241

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන හරහා ණය ගත් කාන්තාවන්ට සහනයක්

තරංග රුක්ෂාන් ජයසේකර




ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් කාන්තාවන්ට ලබාදී ඇති රුපියල් ලක්‍ෂය දක්වා වූ ණය මුදල් කපා හැරීමට ගත් තීරණයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. 

ඒ අනුව මෑත කාලයේදී ඇති වූ නියඟය හේතුවෙන් වගා කන්න 5 ක් අඛණ්ඩව හානි වූ දිස්ති‍්‍රක්ක 12 ක කාන්තාවන් විසින් ලබාගෙන ඇති පරිභෝජනය සඳහා නොවන ණය කපා හැරෙනු ඇති. මෙම සහනය සැලසෙන්නේ ති‍්‍රකුණාමලය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිලිනොච්චි, වව්නියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය සහ පොළොන්නරුව යන දිස්ති‍්‍රක්කවල කාන්තාවන්ටයි. 

මෙහිදී කපා හැරෙන්නේ ශී‍්‍ර ලංකා මහ බැංකුවේ සහ ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයින්ගේ සංගමයේ ලියාපදිංචි කර ඇති මූල්‍ය ආයතන මගින් ලබාදී ඇති ණය පමණක් බවයි මුදල් අමාත්‍යාංශය පැවසුවේ.

එමෙන්ම අදාල ක්‍ෂ්ද්‍ර මූල්‍ය ආයතන මගින් ඉදිරියේදී ලබාදෙන සියළු ණය වෙනුවෙන් පොළිය 30% ක උපරිමයකට යටත් කිරීමටද රජය තීරණය කර තිබෙනවා. මේ වනවිට ශී‍්‍ර ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් ගෙන් ගෙට ගොස් සුරැකුම් හෝ කොන්දේසි නොමැතිව ණය ලබාදීමේ ක‍්‍රමවේදයක් කි‍්‍රයාත්මකයි. ඔවුන් මේ සදහා 40% සිට 220% දක්වා වාර්ෂික පොළියක් අය කරන බවයි මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් කියාසිටියේ.