2012 වර්ෂයේ කොටකෙතන නිවසකදී මවක සහ පාසල් යන දියණියක් කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කළ බවට වන චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාරිය වසර හයහමාරකට පසු නිදොස් කොට මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (25) නියෝග කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ අයගේ අසල්වැසි නිවසේ පදිංචිව සිටි අඹු-සැමි යුවළ විත්ති වාචක කැඳවීමකින් තොරවම නිදොස් කොට නිදහස් කරන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චී විත්තිකාර කාන්තාව වන අශෝකා චාන්දනී කුමාරී හෙවත් 'බට්ටි' නිදොස් කොට මුදාහැරීමට නියෝග කළා.
කෙසේවෙතත් නඩුවෙන් නිදහස් කළ විත්තිකාරියගේ සැමියාට එරෙහිව ඝාතන නඩුව විභාගයට ගැනීමට මහාධිකරණය නියෝග කළා.
විත්තිකරුවන්ට එරෙහි පැමිණිල්ලේ සාක්කි විභාගය අවසන් කළ අවස්ථාවේදී විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නොමැති හෙයින් විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව විත්තිකාර අඹු-සැමි යුවළ නිදොස් කොට නිදහස් කරන ලෙස විත්තියේ නීතීඥවරයා මීට පෙර ඉල්ලීමක් කර තිබුණා.
2012 ජනවාරී මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්නපුර කොටකෙතන ප‍්‍රදේශයේදී නයනා නිලිමිණී (52) හා කවින්ද්‍යා චතුරංගි සෙල්ලහේවා (17) නැමැති මව සහ දියණිය ඝාතනය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පැවරුවා.
මෙලෙස චෝදනා ලැබ සිටියේ ඝාතනයට ලක්වුවන්ගේ අසල්වැසින් වු ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු සහ ඔහුගේ බිරිඳ වන අශෝකා චාන්දනී කුමාරී හෙවත් බට්ටි නැමැති දෙපළයි.