කණ්ඩලම වැවේ දියනෑමට ගිය තරුණයකු අද (28) පස්වරුවේ දියේ ගිලී මිය යෑමත් සමඟ තරුණයා සමඟ වැවේ මත්පැන් පානය කරමින් සිටි හා බීමතින් සිටි මිතුරා වැවට දැමු කීපදෙනකු ඇතුළු තරුණයන් 16 දෙනෙකු සැක පිට දඹුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ මහරඹල ගොඩේවත්ත උණවටුන ප්‍රදේශයේ පදිංචි කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන බව කියන වේරගොඩ කපුගේ ඉසුරු රන්දික (21) හැවිරිදි තරුණයෙකි.
කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවය කරන මෙම සේවකයන් 17 දෙනෙකු බස්රථයකින් කණ්ඩලම ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා පැමිණ කණ්ඩලම වැවේ මත්පැන් පානය කිරීමට තහනම් සහ දිය නෑමට තහනම් බව අනතුරු ඇඟවීම් සවිකොට ඇති ස්ථානයක අධික ලෙස මත්පැන් පානය කරමින් දිය නෑමට ගොස් ඇති බව පොලිසිය පවසනවා.
එම ස්ථානයේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ පැමිණ සිටී දඹුල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වන ප්‍රිය රංජන කුමාර සිද්ධිය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ තමන් ඇතුළු මිතුරන් පිරිසක් මෙම ස්ථානයේ දිය නෑමට රැඳී සිටියදී මියගිය තරුණයා සමඟ පැමිණ සිටි තරුණයන් පිරිස අධික ලෙස මත්පැන් පානය කරමින් වතුරට බැස දිය නෑ බවත් මත්පැන් පානය කොට අධික බීමතින් සිටි වැතිරී සිටි තරුණයකු තවත් තරුණයන් කිහිපදෙනෙකු ඔසවාගෙන ගොස් වතුරට දැමූ බවයි.
පසුව ටික වේලාවක් ගතවෙද්දී එම ස්ථානයේ දිය නාමින් සිටි කුඩා දරුවන් තිදෙනෙකුට පුද්ගලයාගේ සිරුර කකුලේ පැටලී පසුව ගොඩට පැමිණ මත්පැන් පානය කරමින් සිටි අනිත් මිතුරන් පිරිසට දැනුම්දුන් බවද පසුව ඔවුන් පැමිණ දිය යට තිබී මියගිය අයගේ සිරුර ගොඩට ගෙන ආ බවද පළාත් සභා මන්ත්‍රිවරයා සදහන් කර සිටියා.
මියගිය පුද්ගලයා සමග පැමිණි අනෙක් තරුණයන් 16 දෙනාද අසීමිත ලෙස මත්පැන් පානය කොට ඉතා අශෝභන ලෙස හැසිරී දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් සමග ද කෑකෝ ගසමින් සිටි බව පොලිසිය සදහන් කර සිටියා.
පසුව දඹුල්ල රෝහල ඉදිරිපිට දී මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට මෙම තරුණයින් පිරිස පහර දෙන්නට උත්සාහ කළේ මෙම සිද්ධිය මාධ්‍ය මඟින් හෙළි නොකරන්නැයි බලපෑම්කරමින් බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කර සිටියේ.
පසුව එම ස්ථානයට පැමිණි දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න විසින් මෙම පිරිස බස් රථයද සමඟ සැකපිට අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරනු ලැබූ අතර සිද්ධිය පිලිබඳ වැඩිදුර පරීක්ෂණ දඹුල්ල පොලිසිය විසින් සිදු කෙරේ.