Friday, May 10, 2024

General line - 0115112241

සිංගප්පූරු - ශී‍්‍ර ලංකා ගිවිසුම එට්කා ගිවිසුම හොර පාරෙන් ගෙන ඒමක් - මේකෙන් අලි ඇත්තුත් පටවන්න පුළුවන්

පසන් වික්‍රමතිලක




සිංගප්පූරු - ශී‍්‍ර ලංකා ගිවිසුම යනු එට්කා ගිවිසුම හොර පාරෙන් ගෙන ඒමක් බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල පැවසුවේ සිංගප්පූරු ගිවිසුම හේතුවෙන් ඉන්දියාවට එට්කා ගිවිසුම අත්සන් කිරීමට අවශ්‍යතාවක් මතු නොවන බවයි. ඉන්දියානු සමාගම් රැසක් සිංගප්පූරුවේද ලියාපදිංචි වී තිබීම ඊට හේතුව බවටයි ප‍්‍රකාශ කෙරුණේ. 

"ඇත්තෙන්ම ආණ්ඩුව අද සිදු කරලා තිබෙන්නේ මේ රටේ වෘත්තීයවේදීන්ගේ ජනතාවගේ දැවැන්ත විරෝධය නිසා දෙපාරක්ම එක්ටා ගිවිසුම අත්සන් කරන්න ඔන්න මෙන්න තියා ගිවිසුම හකුල ගන්න සිදු වුණා. මුලින් සීපා විදියට අත්සන් කරන්න ගිහිල්ලා නැවතුනා. ඊට පස්සේ එක්ටා විදියට අත්සන් කරන්න ගිහිල්ලා නැවතුනා. මේ ගිවිසුම අත්සන් කළා ලක් මාතාව කියන කිරි එළදෙනගේ කිරි ටික දොවා ගන්න බැරි උනාට ඉන්දියාව ඉන්නේ හරිම කේන්තියෙන් තමන්ගේ ස්වාමියාට දුන් පොරොන්දුව ඉටු කරගන්න බැරි වුණු නිසා ලංකා ආණ්ඩුව ඉන්නෙත් කනස්සල්ලෙන්. ඒ නිසා අපි දකින්නේ සිංගප්පූරු වෙළඳ ගිවිසුම එක්ටා ගිවිසුම හොර පාරෙන් ශ්‍රී ලංකාවට ගෙන ඒම විදියටයි. ඉන්දියාවට එක්ටා ගිවිසුම අත්සන් කිරීමේ උවමනාවක් නැති වෙනවා සිංගප්පූරුවත් එක්ක අත්සන් කරලා තියෙන මේ ගිවිසුම නිසා. අපි උදාහරණයක් විදියට ගත්තොත් ඉන්දියාවේ සමාගම් විශාල ප්‍රමාණයක් සිංගප්පූරුවේ ලියාපදිංචි වෙලා තිබෙනවා සිංගප්පූරු සමාගම් විදියට. සිංගප්පූරුව අද පවතින්නේ වාණිජ කේන්ද්‍රයක් විදියට නිසා එහෙම සමාගම් සිංගප්පූරුවේ ලියාපදිංචි කර ගැනීම ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාරයක්. ඒ නිසා සිංගප්පූරු සමාගම් විදියට ඒ සමාගම්වල සේවය කිරීමේ පදනමින් ගෘහ සේවකයන්, රියදුරන්, අරක්කැමියන්, කරණවෑමියන්, මේ සියලුම රැකියා ටික ශ්‍රී ලංකාව ඇතුළට ඉන්දියානුවන්ගේ පැමිණීම එක්ටා නොමැති වුවත් සිදුවීමේ අවධානමක් සිංගප්පූරු ගිවිසුම හරහා ඇති කරලා තිබෙනවා.

මේ ගිවිසුමේ හැටියට සිංගප්පූරුවෙන් තල, බඩ ඉරිගු, බෝංචි, බද්දෙන් තොරව ආනයනය කරන්න පුළුවන්. තමුන්නාන්සේලා අපි ඔක්කොම දන්නවා සිංගප්පූරුව කියන්නේ වසර හතළිහකට පෙර මුඩුබිමක්. බඩ ඉරිඟු, බෝංචි, තල නෙවෙයි තණකොළ ගහක් හැදුනේ නැති මුඩුබිමක්. ඕස්ට්‍රේලියාවෙන් පස් ගෙනල්ලා ගෙනල්ලා තමයි සිංගප්පූරුවේ මුලින්ම තණකොළ වැව්වේ. දැන් ඉතාම දුෂ්කර ක්‍රියාවක් කරමින් සිංගප්පූරුවේ ගස්වැල් නඩත්තු කරමින් යනවා. එහේ බඩ ඉරිඟු වගාවක් නැහැ. තල වගාවක් නෑ, බෝංචි වගාවක් නෑ. එහෙනම් මොකටද සිංගප්පූරුවෙන් ආනයනය කරන මෙම භාණ්ඩ වලට බදු සහන ලබා දීලා තියෙන්නේ මේ ගිවිසුම හරහා. සිංගප්පූරුවේ මේවා වැවෙන්නේ නැති වුණාට ඉන්දියාවේ නම් යහමින් වැවෙනවා. මේ එක්ටා ගිවිසුමයි සිංගප්පූරු ගිවිසුම හරහා කරලා තියෙන්නේ. ඔටුවෝ ගේනවා කියලා තියෙනවා ලංකාවට සඳෙන් තොරව සිංගප්පූරුවේ ඔටුවෝ ඉන්නවාද? හැබැයි ඉන්දියාවේ ඔටුවෝ ඉන්නවා. ඒ නිසා අපිට මේ ගිවිසුමේ දකින්න තියෙන එකම හොඳ දේ තමයි තීරු බද්ද කින් තොරව ලංකාවේ ඉන්න බූරුවන්ව සිංගප්පූරුවට අපනයනය කරන්න පුළුවන් කියලා තියෙනවා. කරන බූරුවන්ව බදු සහන සහිතවම අපූරුවට යවා ගත්තොත් රට බේරගන්න පුළුවන්කමක් තිබෙයි."

සිංගප්පූරු ගිවිසුම සම්බන්ධයෙන් පත්කළ කොමිසම පිළිබදවද මන්තී‍්‍රවරයා මෙලෙස අදහස් පළ කළා.

"මේ ගිවිසුම හරහා අලි ඇත්තු වඳුරන් පමණක් නොවෙයි වස්තු පවා බද්දෙන් තොරව අපනයනය කරන්න පුළුවන්. මේ අතර ජනාධිපතිතුමාට පොඩ්ඩක් රත් වෙලා. ඒ පිළිබඳව සොයාබලා මාස දෙකක් ඇතුළත වාර්තා කරන්න බොහොම ගෞරව කරන ඩබ්.ඩී ලක්ෂ්මන් මහාචාර්යතුමා ඇතුළු පිරිසක් පත් කර තිබෙනවා. අපට තිබෙන ප්‍රශ්නය මාස දෙකක් ගත වෙනකොට මේ රටේ තිබෙන ජෛව විවිධත්වය බුරුතු පිටින් රට පටවලා නම් දහස්ගණනක උරුමය තොග පිටින් පිටරට පටවලා නම් මේ ගිවිසුම අහෝසි කරන්න කියලා ජනාධිපතිතුමාට නිර්දේශයක් ඇවිල්ලා. ජනාධිපතිතුමා ගිවිසුම අහෝසි කරත් රටට වෙන හානිය ඒ වන විට වෙලා ඉවරයි. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමනි, ස්තාලය වැසිය යුත්තේ අශ්වයා පැන යාමට පෙරයි. ඒ නිසා මේ විද්වතුන්ගේ කමිටුව විසින් තමන්ගෙ නිර්දේශය ඉදිරිපත් කරන තුරුවත් මේ ගිවිසුමේ ක්‍රියාත්මක වීම අත්හිටුවන්න කියන ඉල්ලීම අපි ජනාධිපතිතුමන්ගෙන් බල කරලා ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා."

පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවකදීයි.