Friday, May 10, 2024

General line - 0115112241

බස් සේවක වර්ජනය මාර්ග කිහිපයකට සීමා වෙයි

තරංග රුක්ෂාන්/ පසන් වික්‍රමතිලක




පෞද්ගලික බස් රථ සේවකයින් පිරිසක් ඊයේ (15) මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වනවා. ඒ, ඉකුත්දා පැනවූ නව ස්ථානීය දඩවලට විරෝධය පළ කරමින්.

ඔවුන් සැලසුම් කර තිබුණේ දීප ව්‍යාප්ත අයුරින් මෙම වැඩ වර්ජනය සිදු කිරීමටයි. එහෙත් මේ වනවිට එය ප‍්‍රදේශ කිහිපයකට පමණක් සීමා වී ඇති බවටයි නෙත් නිවුස් වෙත තොරතුරු වාර්තා වුණේ.

කෙසේ වෙතත් පෞද්ගලික බස් රථ සේවක සංගමයේ සංවිධායක කුමාරරත්න රේණුක පැවසුවේ වර්ජනය සාර්ථක බවයි. 

වර්ජනය හේතුවෙන් ධාවන කටයුතු අඩාල විය හැකි මාර්ග පිළිබඳව ද මෙහිදී විමසීමක් කළා.

එහිදී "කොළඹ අවට නරගවල, නගරාන්තර බස් ආරම්භවන ස්ථානවල තත්ත්වය අනුව අලුත්ගම, මාතර, කතරගම දක්වා සහ කිරිබත්ගොඩ, නුවර පාර, පෑලියගොඩ..මීගමුව පාර, අනුරාධපුරය, පොළොන්නරුව..බදුලු, බණ්ඩාරවෙල, නුවරඑළිය, ත්‍රිකුණාමලය ආදී මාර්ගවල මේ වන විට බස් රථ ධාවනය වන්නේ විනාඩි 40කට එකක් ලෙසයි. බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ දකින්නට ඇති තත්ත්නය අනුවත් මේ වන විට 80% සේවකයින් සේවාවලින් ඉවත් වී තිබෙනවා." යනුවෙන් සඳහන් කළා.

කෙසේ වෙතත් ඇතැම් බස් හිමියන් පවසන්නේ මෙම වර්ජනය සඳහා තමන්ගේ කිසිඳු සහයෝගයක් නොමැති බවයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සහ සමස්ත ලංකා පෞද්ගික බස් සමාගම් සමිති සම්මේලනය ද දරන්නේ එම ස්ථාවරයයි.

බස් සේවකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් නෙත් නිවුස් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙන් විමසීමක් කළා. එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ පැවසුවේ ස්ථානීය දඩ 33 හඳුන්වා දී ඇත්තේ බස් රථ සඳහා පමණක් නොවන බවයි. 

ස්ථානීය දඩ වැඩි කිරීම පිළිබඳ තීරණය කළේ විශේෂ කමිටුවක් හරහා මාස 06කට අධික කාලයක් සාකච්ඡා කිරීමෙන් පසුව බවයි මෙහිදී අවධාරණය කෙරුණේ. බස් සංගම් මෙන්ම සෙසු ප‍්‍රවාහන සංගම් ද ඒ සඳහා යෝජනා ඉදිරිපත් කර තිබු බවයි සභාපතිවරයා කියා සිටියේ. 

කෙසේ වෙතත්  පෞද්ගලික බස් සේවක වර්ජනය හේතුවෙන් කිසියම් ප‍්‍රදේශයක බස් ධාවනය අඩාල වුවහොත් ඊට කඩිනම් ප‍්‍රතිචාර දැක්වීමට ලංකා ගමනාගමන මණ්ඩලය ද සූදානමින් පසුවනවා.  ඕනෑම මෙහොතක අතිරේක බස් රථ යෙදවීමට සූදානම් බවයි ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී. එච්. ආර්. ටී. චන්ද්‍රසිරි පැවසුවේ.

මේ අතර පෞද්ගලික බස් සේවකයින්ගේ වැඩ වර්ජනයට සහය ලබාදීමට ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත‍්‍රීරෝද රථ සම්මේලනයද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.