Thursday, May 2, 2024

General line - 0115112241

මෝසම් වැස්සෙන් කේරලයේ 97ක් මරුට : කෝචි ගුවන් තොටුපල 26 දක්වා වසා දමයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




මෝසම් වැසි සමග ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට බලපා තිබෙන ගංවතුර සහ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 97 දක්වා ඉහල ගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

ගංවතුර තත්ත්වය සහ බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් කේරල ප්‍රාන්තයේ කෝචි ගුවන් තොටුපල අගෝස්තු 26 වනදා දක්වා වසා දැමීමට ප්‍රාන්ත බලධාරීන් විසින් තීරණය කර තිබෙනවා.

ගංවතුර තත්ත්වයෙන් රෝහල් පවා යටවී ඇති බැවින් මේ වන විට ශල්‍යකර්ම සහ බාහිර රෝගී ප්‍රතිකාර ලබා දීමට නොහැකි තත්ත්වයක් කේරල ප්‍රාන්තයේ උද්ගතවී ඇති බවයි ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත වාර්තා කර සිටින්නේ.

ඉන්දියානු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඉදිරි දින 03 ක කාලයේදී කේරල ප්‍රාන්තයට වැසි ඇද හැලෙන බවයි. 

මේ අතර ඉන්දියානු දුරකථන සමාගම් කිහිපයක් විසින් ගංවතුරෙන් විපතට පත්ව සිටින කේරල ජනතාවට නොමිලේ දුරකථන ඇමතුම් සහ අන්තර්ජාල පහසුකම් සපයා දීමට පියවර ගෙන තිබෙනවා.

කේරල ප්‍රාන්තයේ මාර්ග සියල්ලම පාහේ ජලයෙන් යටවී ඇති බැවින් ගොඩනැගිලිවල සිරවී සිටින පිරිස් බේරා ගැනීමට ආපදා සහන කණ්ඩායම් ගුවන් හමුදාවේ සහය ඇතිව මෙහෙයුම් දියත් කර ඇති බවයි.

මේ වන විට ප්‍රාන්තයේ පිහිටි ජලාශ 39 න් 36 ක්ම පිටාර ගලමින් තිබෙන බව බළධාරින් සදහන් කරන්නේ. වගා බිම් සියල්ලක්ම පාහේ ගංවතුරෙන් විනාශ වී ඇති බවයි ඔවුන් වැඩි දුරටත් සදහන් කරන්නේ.