Friday, May 10, 2024

General line - 0115112241

කීත් නොයාර් පැහැර ගැනීම ගැන තොරතුරු රැසක් අනාවරණවෙයි




මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණ වී ඇතැයි පොලිස් ආරංචි පවසනවා. ඔහු පැහැරගෙන ගොස් රදවාගෙන සිට ඇත්තේ හමුදා බුද්ධි අංශයට අයත් ආරක්‍ෂක නිවස්නයක බවයි එහිදී අනාවරණ වී ඇත්තේ. එම ස්ථානය දොම්පේ බදුවත්ත වලව්ව ලෙස හදුනාගෙන තිබෙනවා. 

මාධ්‍යවේදී කීත් නොයාර්ගේ පැහැර ගැනීමෙන් පසු ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ලලිත් අලහකෝන්, එවකට ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්‍ෂ මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා තුනකදී උත්සාහ කර ඇති බවටයි වාර්තා පළ වන්නේ. එහෙත් එය සාර්ථක වී නැහැ. පසුව වර්තමානයේ පුවත්පත් ආයතනයක සභාපතිවරයෙකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකු එවකට රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා ලෙස කටයුතු කල කරූ ජයසූරිය මහතාට අදාළ පැහැර ගැනීම පිළිබද දැනුම් දී තිබෙනවා. ඒ අනුව කරූ ජයසුරිය මහතා ඒ පිළිබද මහින්ද රාජපක්‍ෂ මහතා දැනුවත් කර ඇතැයි සදහන්. පසුව එවකට ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්‍ෂ මහතා එවකට ආරක්‍ෂ ලේකම්වරයා වූ ගෝඨාභය රාජපක්‍ෂට මේ පිළිබද දැනුම් දෙන්නැයි ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ලලිත් අලහකොන් දැනුවත් කර ඇතැයි ද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.


එවකට කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ අනුර සේනානායක මාධ්‍යවේදී කීත් නොයාර්ගේ නිවසට ගොස් ඇත්තේ මේ අතරතුරයි. තවත් පැය දෙකක් තුළ කීත් නොයාර් නිවසට පැමිණෙන බවට එහිදී ඔහු පවසා ඇති බවයි පොලිස් ආරංචි වැඩිදුරටත් කියාසිටියේ.

පැහැර ගැනීමට ලක් වූ මාධ්‍යවේදී කීත් නොයාර් දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට දමාගොස් සිටියදී පසුව සොයා ගැනුණා. ඒ වනවිට ඔහු පහරකෑම් හේතුවෙන් බරපතල තුවාල ලබා සිටියා.

මේ අතර මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 3 කට ආසන්න කාලයක් ප‍්‍රශ්න කළා. එම ප‍්‍රකාශය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පටිගත කරගෙන ඇති බවද පැවසෙනවා. මෙම ප‍්‍රශ්න කිරීම සදහා මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශවයෙන් ද උපරිම සහායක් ලැබී ඇති බවයි පොලිස් ආරංචි පැවසුවේ. ඉදිරියේදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු තවත් කිහිප දෙනෙකුගෙන්ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් කියාසිටියා.