Thursday, January 16, 2025

General line - 0115112241

එකම පීල්ලේ ධාවනය වූ දුම්රිය දෙකේ එක් රියදුරෙකුට එල්ල වූ චෝදනාව මෙන්න

සමන්ත කුමාර




අනුරාධපුර ශ‍්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය 02ක් එකම පීල්ලක ධාවනය වී සිදුවීමට ගිය අනතුරට හේතුව එලෙස ධාවනය වූ එක් දුම්රියක රියදුරෙකුගේ නොසැලකිලිමත්කම බවට චෝදනා එල්ල වනවා.

ශ‍්‍රාවස්තිපුර දී එලෙස එකම පීල්ලක ධාවනය වී මුහුණට මුහුණ ගැටීමේ අවදානමකට මුහුණපෑවේ කොළඹ සිට තලෛමන්නාරම බලා ධාවනය වූ දුම්රියක් සහ කන්කසන්තුරේ සිට කොළඹ බලා ධාවනය වූ යාල්දේවි දුම්රියයි.

කොළඹ සිට තලෛමන්නාරම බලා ධාවනය වූ දුම්රිය ශ‍්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයේ නතර කිරීමට නියමිතව තිබුණා. එහෙත් සංඥා අනතුරු තත්වයේ තිබියදී දුම්රිය නොනවත්වා ධාවනය වූ බවයි එහි සිටි පිරිසක් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

එම අවස්ථාවේ දුම්රිය නතර කරන ලෙස කෑගසමින් දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් හස්ත සංඥා කරමින් දුම්රිය පසුපස දිවගොස් තිබෙනවා. ඒ අතරතුර යාල්දේවී දුම්රියට අනතුරු සංඥා නිකුත් කිරීමට ද දුම්රිය ස්ථානයේ සිටි කාර්ය මණ්ඩලය කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.  

ඊට අමතරව ශ‍්‍රාවස්තිපුර දුම්රිය ස්ථානාධිපතිවරයා එම දුම්රියේ ප‍්‍රධාන නියාමකවරයා අමතා දුම්රිය නතර කර ගන්නා ලෙසත් ඉදිරියෙන් එන යාල්දේවි දුම්රිය නතර කර ගැනීමට අනතුරු සංඥාවක් නිකුත් කරන ලෙසත් දන්වා ඇති බවයි වාර්තා වුණේ. 

ඒ අනුව දුම්රියේ ඉදිරි කොටසේ සිටින උපනියාමකවරයාට ප‍්‍රධාන නියාමකවරයා විසින් එය දැනුම් දී තිබෙනවා. ඒ අනුව එම උප නියාමකවරයා ඉදිරියට දිවගොස් රතු පැහැති කොඩියක් වනා යාල්දේවි දුම්රිය නතර කරගෙන ඇති බවයි අදාළ අවස්ථාවේ දුම්රිය ස්ථානයේ සිටි පිරිසක් නෙත් නිවුස් වෙත කියා සිටියේ.