Thursday, January 16, 2025

General line - 0115112241

විශේෂ වැටුප් කොමිෂන් සභාවට සාමාජිකයින් 16ක් - ප්‍රධාන කාර්යන් 04ක්




රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක‍්‍රියාත්මක චක‍්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් ආශ‍්‍රිත යම් ගැටලූ හෝ විෂමතා ඇත්නම් එම ගැටලූ හෝ විෂමතා අවම කිරීම වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වැටුප් සමාලෝචනය සම්බන්ධයෙන් වන විශේෂ කොමිෂන් සභාවක් පත්කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත.

2018-08-14 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී එළැඹි තීරණය පරිදි ජනාධිපතිතුමා විසින් මෙම විශේෂ කොමිෂන් සභාව පත්කර ඇත. 

එස්. රනුග්ගේ සභාපතිවරයා වශයෙන් ද එච්.ජී. සුමනසිංහ ලේකම්වරයා වශයෙන් ද පත්කොට ඇති එම විශේෂ කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් මෙසේය. කේ.එල්.එල්. විජේරත්න, ටී.පී. කොල්ලූරේ, සී.පී. සිරිවර්ධන, සුධර්මා කරුණාරත්න, ජනක සුගතදාස, ධාරණි එස් විජේතිලක, ලලිත් ආර්. ද සිල්වා, පී.එස්. එදිරිසිංහ, ඒ.ආර්. දේශප‍්‍රිය, බි.පී.පී.එස්. අබේගුණවර්ධන, වෛද්‍ය පාලිත අබේකෝන්, පී. තංගමයිල්, එස්.ඞී. ජයකොඩි සහ එම්.සී. වික‍්‍රමසේකර.

විශේෂ වැටුප් කොමිෂන් සභාවේ කාර්යයන් හා නියමයන් පහත පරිදි  බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

01. රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක‍්‍රියාත්මක වන වැටුප් චක‍්‍රලේඛ විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් ශ‍්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සේවයට යෝජිත වැටුප් පරිමාණය ලබාදීමේ දී ඇතිවන බලපෑම් අධ්‍යයනය කිරීම සඳහා සහ එහිදී මතුවන ගැටලූ විසඳීම සඳහා ක‍්‍රමවේද යෝජනා කිරීම. 

02. මෑතකදී වැටුප් හා දීමනා වැඩිකරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරන ලද දුම්රිය සේවය, සෞඛ්‍ය, උසස් අධ්‍යාපන හා අධ්‍යාපන, තැපැල් සේවය යන ක්ෂේත‍්‍ර සඳහා දැනට ක‍්‍රියාත්මක වන වැටුප් චක‍්‍රලේඛ මගින් වැටුප් විෂමතාවයක් සිදු වී ඇත්නම් එය අවම කිරීම සඳහා විසඳුම් යෝජනා කිරීම. 

03. දීපව්‍යාප්ත සේවාවන්ට අදාළ වැටුප් ගැටලූ මෙන්ම කරනු ලැබ ඇති වැටුප් වැඩි කිරීම හේතුවෙන් දැනට පැන නැගී ඇතැයි හඳුනාගෙන ඇති වැටුප් විෂමතාවයන් අවම කිරීමට නිර්දේශ ඉදිරිපත් කිරීම  

04. සමාන වගකීම් දරන්නා වූ හෝ සමාන සුදුසුකම් සහිත වන්නා වූ හෝ වෘත්තිකයින් විසින් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය අංශයන්හි දී ලබන්නා වූ වැටුප් හා වේතනයන් සහ දීමනා අතර ඇති විෂමතාවයන් අවම කිරීම පිණිස මග පෙන්වන වැටුප් හා වේතන ව්‍යුහයක් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීම.