Thursday, January 16, 2025

General line - 0115112241

ප්‍රධාන පක්ෂ දෙකේ එකඟතාවයක් නැතිව අද පාර්ලිමේන්තුවට එන වාර්තාව

තරංග රුක්ෂාන්/ දිල්ශාන් තුෂාර




පාර්ලිමේන්තුවට අද (24) ඉදිරිපත් කිරීමට නියමිත පළාත් සභා සීමා නීර්ණ වාර්තාව සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අර්බුදයක් මතුව තිබෙනවා. ඒ, ප‍්‍රධාන පක්‍ෂ කිහිපයක් ඊට විරුද්ධවීමත් සමගයි. 

වාර්තාවට අදාළ පාර්ලිමේන්තු විවාදය අද දවස පුරා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කරනු ඇති. ඊට අදාළ ඡන්ද විමසීමද අද දිනයේ පැවැත්වීමටයි නියමිතව ඇත්තේ. එය සම්මත වුවහොත් පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ නව ඡන්ද ක‍්‍රමයට අනුවයි.

එහෙත් දේශපාලන පක්‍ෂ ඒ සම්බන්ධයෙන් දරන්නේ පරස්පර විරෝධි අදහස්. එක්සත් ජාතික පක්‍ෂයද ඊට විරුද්ධවීමටයි දැනටමත් තීරණය කර ඇත්තේ. පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන පෙන්වා දෙන්නේ රටට සුදුසු මැතිවරණ ක්‍රමවේදයක් සකස් කිරීමට තවමත් කිසිඳු පාර්ශ්වයකට නොහැකි වී ඇති බවත්..අසමත් වී ඇති බවයි. ඒ අනුව මෙම නව ක්‍රමයට අද නියමිත ඡන්ද විමසීමේදී විරුද්ධව ඡන්දය ලබාදෙන බවත් සඳහන් කළා.

කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ එක්සත් ජාතික පක්‍ෂය ඊට විරුද්ධ වන්නේ ඡන්දය කල්දමා ගැනීමේ අරමුණින් බවයි. අද ඡන්දයක් පැවැත්වුවහොත් ඊට පක්‍ෂව ඡන්දය ලබාදීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ. එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මේ බව සඳහන් කළා.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය අදාළ වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් ස්ථිර තීරණයකට එළඹ නැහැ. ඔවුන්ගේ අදහස වන්නේ නව ක‍්‍රමයට ඡන්දය පැවැත්විය යුතු බවටයි. ඒ අනුව වර්තමානයේ හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපති, රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ ගෙන් නෙත් නිවුස් විමසීමක් කළා.

එහිදී සඳහන් කෙරුණේ ප්‍රධාන පක්ෂ දෙකේ එකඟතාවය නොමැතිව මෙය සම්මත කළ නොහැකි බවයි.

පළාත් සභා සීමා නීර්ණ වාර්තාවට විරුද්ධවීමට ඒකාබද්ධ විපක්‍ෂය දැනටමත් තීරණය කර අවසන්. ඒ, එමගින් අවාසිදායක තත්ත්වයක් මතුවන බව පවසමින්.

පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබද ඡන්දයක් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට අද දිනයේ යළිත් පක්‍ෂ නායක රැස්වීමක්ද පැවැත්වීමට නියමිතයි.