අඹ, කෙසෙල්, අන්නාසි හා දොඩම් මෙන්ම වරකා මෙරට අපතේ යන වැඩිම පළතුරු ලෙස සැළකෙනවා.
අපේ රටේ පලතුරුවලින් සියයට 40කට වැඩි ප්‍රමාණයක් අස්වනු වැඩිවන කාලයට අලෙවි කර ගත නොහැකිව මෙලෙස විනාශ වී යන බවයි සංඛ්‍යා ලේඛනවලින් හෙළිදරව් වී ඇත්තේ.
මෙම පළතුරුවල අස්වැන්න වැඩි කාලයට ඒවා විජලනය කර වියළි පලතුරු වශයෙන් සකස් කර අලෙවි කර ගොවියාට අතුරු ආදායම් මාර්ගයක් සැලසීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර විසින් හඳුන්වා දුන් 'අපි වවලයි - අපි කන්නේ' කඩිනම් කෘෂිකාර්මික වැඩ සටහන යටතේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා.
ඒ අනුව පළතුරු විජලනය කිරීමේ යන්ත්‍ර 10ක් මෙම වසර තුළ ජර්මනියෙන් මිල දී ගැනීමට යෝජිත අතර එම යන්ත්‍ර අවම වශයෙන් එක් පළාතකට එකක් බැගින් බෙදා දී පළතුරු විජලනය කිරීමේ මධ්‍යස්ථාන ඇරඹීමට යෝජිතයි. ඒ සඳහා පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.
මේ වනවිටත් ගන්නොරුව පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය විසින් විජලනය කළ පළතුරු සකස් කිරීමේ කටයුතු සිදු කරමින් සිටිනවා. ඊයේ (23) එහි ගිය කෘෂිකර්ම අමාත්‍යවරයා එම කටයුතු නිරීක්ෂණය කළ අතර ඉන් අනතුරුව විශ්ව විද්‍යාලයන්හි කෘෂිකර්ම අංශයට අදාල ආචාර්ය මහාචාර්යවරුන් සමග සාකච්ඡාවක්ද පැවැත්වුණා.
එහිදී මෙරට විජලනය කළ පළතුරු ප්‍රථම වරට සාකච්ඡාවක දී අතුරුපස වශයෙන් බෙදා දෙනු ලැබුවා.
ඒ අනුව විජලනය කළ කර්තකොලොම්බන් අඹ හා කෝලිකුට්ටු කෙසෙල් හා වරකා ද අතුරුපස ආහාර වශයෙන් පිරිනමනු ලැබුවා.
මෙම වැඩපිළිවෙළ පළමුවෙන් අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී හඳුන්වාදීමට අදහස් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා. ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් සියලු දෙනාටත් ලබා දෙන අතර එමගින් මෙවැනි විජලනය කළ පළතුරු භාවිතයේ ඇති වැදගත්කම රටේ සියලු ජනතාවට පැහැදිළි කිරීමේ වැඩ සටහනක් අරඹන බව ද පැවසුවා.