Thursday, January 16, 2025

General line - 0115112241

පළමු නඩුව කැඳවමින් නව මහාධිකරණය දුන් නියෝග

අධිකරණ වාර්තාකරු




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත් ඇතුළු හතර දෙනෙකුට අද (24) මහා පරිමාණයේ මුදල් වංචා සහ දූෂණ නඩු විභාග කිරිමට පත් කළ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අධිචෝදනා භාර දෙනු ලැබුවා. 

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  කාර්යමණ්ඩල ප්‍රධානී ලෙසට කටයුතු කළ ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂක ලෙසට කටයුතු කළ පියදාස කුඩාබාලගේ සහ හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන අය ඇප මත මුදාහැරීමට ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරනය අද නියෝග කළා.

ඒ ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින්ග්ස් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන්.

ඒ අනුව එක් එක් විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහයේ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද විනිසුරු සම්පත් අබේකෝන්, විනිසුරු සම්පත් විජේරත්න සහ විනිසුරු චම්පා ජානකි රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළා.

විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමට ද අධිකරණ පොලිස් නිළධාරීන්ට නියෝග කළා. පැමිණිලි පාර්ශ්වයේ ලේඛන සතියක් ඇතුළත විත්ති පාර්ශ්වය වෙත භාර දීමට කටයුතු කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. එම ලේඛන පරිශීලනය කොට දෙපාර්ශ්වයේ සැලකිරීම් සඳහා නඩුව සැප්තැම්බර් මස 19 වැනිදා යළි කැඳවීමට මහාධිකරණය අද නියෝග කළා. 

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් පොදු දේපල පනත , මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ කියවෙන වැරැදි සම්බන්ධයෙන් අධි චෝදනා ගොනු කර තිබෙනවා.

විත්තිකරුවන් විසින් මෙම අපරාධය 2014 වර්ෂයේ පෙබරවාරි මස 01 වැනි දා සිට 2015 වර්ෂයේ ජනවාරි මස 20 වැනි දා අතර කාලය තුළ සිදු කර ඇති බවට නීතිපතිවරයා චෝදනා කර සිටිනවා.