Thursday, January 16, 2025

General line - 0115112241

අගමැතිවරයාට නඩු පවරන හැටි විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් හෙළි කරයි

ජනක චන්දන/ දිල්ශාන් තුෂාර




දුෂණ සහ මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා අලූතින් විවෘත කෙරුණු විශේෂ මහාධිකරණ පිළිබඳ දේශපාලන වේදිකාවේ තවදුරටත් විවිද අදහස් පළ වනවා. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ති‍්‍ර රමේෂ් පතිරණ ඒ පිළිබඳ දැක්වුයේ මෙවන් අදහසක්.

රටේ නීති රාමුව තුල කිසිම දෙයක් සිදුකර ගන්න බැරි නිසා විශේෂ අධිකරණ පිහිටුවලා හැමදාම නඩු අහලා කෙසේ හෝ වැරදිකරුවන් කිරීමේ අභිලාෂයෙන් මේ ආණ්ඩුව කටයුතු කරනවා. අපි විශ්වාස කරනවා ආණ්ඩුව මොන බලපෑම් කලත් මේ අධිකරණවල ඉන්න විනිශ්චකාරතුමන්ලා ගෞරවාන්විතව ඒ ගරුත්වය ආරක්ෂා කරගෙන තීන්දු තීරණ දෙයි. මේ මඩ ගැසීමේ ව්‍යාපාරයක් වෙන්නේ. මේ ස්වාධින අධිකරණ මගින් අපිට කරන්න පුළුවන් කටයුතු තිබෙනවා. අපේ ආණ්ඩුවක් බලයට ආවම මේ රටේ සිදුවුණු විශාලතම මුල්‍ය වංචාව වන බැදුම්කර සිද්ධිය ගැන පරීක්ෂණ කරලා චුදිතයින්ට එරෙහිව නඩු පවරලා දඬුවම් කරනවා. ඒ සිද්ධියේ ප්‍රධාන චුදිතයා වන අගමැතිවරයාට එරෙහිව නඩු පවරනවා යැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කර සිටියා.

මේ අතර ආණ්ඩුව පෙරළා දැමීමට පොදු බලවේගයක් ලෙස කටයුතු කරමින් සිටින බව ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මන්තී‍්‍රවරුන් පවසනවා. ලබන 05වනදා කොළඹදී පැවැත්වෙන උද්ඝෝෂණයද එහි තවත් අවස්ථාවක් බවයි පාර්ලිමේන්තු මන්ති‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ.