Saturday, May 4, 2024

General line - 0115112241

තවදුරටත් වැඩ වර්ජනයක යෙදී සිටින ශ‍්‍රී ලංගම සේවකයින්ට රැකියාව අහිමි වෙන ලකුණු

ලහිරු කපුගේ




තවදුරටත් වැඩ වර්ජනයක යෙදී සිටින ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බව ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.

නෙත් නිවුස් කළ සොයා බැලීමකදී දැනගන්නට ලැබුණේ දකුණු පළාතේ ඩිපෝ කිහිපයක සේවකයින් මෙලෙස තවදුරටත් වැඩවර්ජනයක යෙදී සිටින බවයි. මෙම වැඩ වර්ජනය දේශපාලන උවමනාවක් අනුව සිදු වන්නක් බවට ද නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ චෝදනා කළා. 

සිය දැනුම් දීම අනුව හෝ ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවකයින් අදත් සේවයට වාර්තා නොකළහොත් මගී පීඩා අවම කිරීම සඳහා විකල්ප පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පැවසුවා. 

මේ අතර මුලින් ඉදිරිපත් කෙරුණු ඉල්ලීම් ගණනාවකට ආණ්ඩුව ප‍්‍රතිචාර දක්වා තිබියදීත් ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාත් ඩිපෝ කිහිපයක සේවකයින් තවදුරටත් වැඩ වර්ජනයක යෙදී සිටින්නේ මන්දැයි නෙත් නිවුස් වෘත්තීය සමිතිවලින් ද විමසීමක් කළා. ඊට පිළිතුරු දෙමින් සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය පැවසුවේ වැඩ වර්ජනය තවදුරටත් සිදු කෙරෙන්නේ මන්දැයි තමන්ද පැහැදිලිව නොදන්නා බවයි. එහි ප‍්‍රධාන ලේකම් සේපාල ලියනගේ මේ බව සඳහන් කළා. 

මුලින් ඉදිරිපත් කළ සිය ඉල්ලීම් සඳහා ආණ්ඩුව ප‍්‍රතිචාර දක්වා තිබියදීත් දකුණු පළාත් ඩිපෝවල සේවකයින් තවදුරටත් වැඩ වර්ජනය කරන්නේ මන්දැයි විමසා බැලීමට අද නැවත සාකච්ඡාවක් සිදු කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

සෙසු පළාත්වල ශ‍්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින් ද ඩිපෝ ඉදිරිපිට විවිධ පුවරු හා පෝස්ටර් ප‍්‍රදර්ශනය කරමින් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට තවදුරටත් එක්ව සිටිනවා.