Tuesday, May 21, 2024

General line - 0115112241

ජනතාවගේ පසුම්බියට තදින් දැනෙන රුපියලේ බාල්දුව ගැන දේශපාලඥයික් කියන කතා

ඩිල්ෂාන් මඩවල/ නිශාන් ද සිල්වා/ සජිත් තිලකරත්න/ පසන් වික්‍රමතිලක




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප‍්‍රමාණය වෙමින් තිබෙනවා. ශී‍්‍ර ලංකා මහබැංකුවට අනුව ඊයේ (06) ගණුදෙනු නිමා වනවිට අමෙරිකානු ඩොලරයේ විකුණු මිළ සටහන් වුයේ රුපියල් 163.57 ක් ලෙසයි. ඊයේ පැවති මාධ්‍යහමු කිහිපයකදීද මේ පිළිබද අදහස් පළ වුණා.

ජනතා විමුක්ති පෙරමුණ විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත්  පැවසුවේ මේ අවුරුද්ද තුළ රුපියල 5% කඩා වැටී ඇති බවයි. ඒ හේතුවෙන් ආනයන අපනයන වියදම වැඩි වී ඇති බවත්, ඩොලරයේ අගය ඉහළ යාම නිසා ගෙවීමට ඇති විදෙස් ණය ප්‍රමාණය රුපියල් කෝටි 400කින් ඉහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

රුපියල අවප‍්‍රමාණයවීම සම්බන්ධයෙන් ඉදිරිපත් වන මෙම චෝදනාවලට නෙත් නිව්ස් ආණ්ඩුවෙන් ප‍්‍රතිචාර විමසා සිටියා. ඊට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික‍්‍රමරත්න පැවසුවේ අමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව රුපියල මෙලෙස අවප‍්‍රමාණයවීම දේශීය හේතූන් නිසා සිදු වන්නක් නොවන බවයි. වෙනත් රටවල මුදල් ඒකක මීටත් වඩා වැඩි වේගයකින්් අවප‍්‍රමාණය වෙමින් තිබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ජනවාරි 01දා සිට අගෝස්තු 21 දක්වා රුපියල 4.67%න්ද  ඉන්දියාවේ රුපියල 9.38%ද පාකිස්ථානයේ රුපියල10.77%ද වීනයේ යුආනය 5.27% අවප්‍රමාණ වී ඇතැයි ඔහු පවසනවා. මෙරට ආර්ථිකය ශක්තිමත් බැවින් එම රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල අව ප්‍රමාණ වීම අඩු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රුපියල කෙරෙහි බලපෑම් ඇති කරන ජාත්‍යන්තර වෙළඳපොල හැසිරීම් කිහිපයක් ද මෙහිදී විස්තර කෙරුණා. එහිදී ඔහු උදාහරණ වශයෙන් පැවසුවේ අප තෙල් ලබා ගන්නා ඉරාණයට අමෙරිකාව පනවා ඇති සම්බාධක, අපගේ තේ ගැනුම්කරුවකු වන තුර්කියට පනවා ඇති සම්බාධක වැනි කාරනා මෙම තත්ත්වයට බලපා ඇති බවයි.

මේ අතර නෙත් නිවුස් මීට පෙර කළ විමසීමකදී ආර්ථික විශ්ලේෂකයින් පෙන්වාදුන්නේ කුමන තත්වයක් යටතේ වුවද රුපියල අවප‍්‍රාමාණය වීම ජාතික ආර්ථිකයට නරක තත්වයක් බවයි. මේ නිසා ආනයන වියදම් වැඩිවී ආනයන ද්‍රව්‍යවල මිල ද වැඩිවිය හැකි බව ඔවුන් පෙන්වා දුන්නා.