Sunday, May 19, 2024

General line - 0115112241

යතුරුපැදිකරුවෙකුට අසුඅට දහසක සුපිරි දඩයක්

ජයන්ත වීරසේකර




තණමල්විල, සෙවනගල පොලිස් බල ප්‍රදේශයේ දී සෙවනගල පොලිස් නිලධාරීන් රාත්‍රි මාර්ග රාජකාරි යෙදී සිටින අවස්ථාවෙදී මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියකට නවතින ලෙස අණ කලද එම යතුරු පැදිකරු පොලිස් අණ නොතකා නොනවත්වා ධාවනය කර තිබෙනවා.

පසුව සෙවනගල පොලිසිය විසින් සිදු කල විමර්ශනයකදී සැකකරු සහ යතුරු පැදිය සොයාගෙන ඇති සැකකරු ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

එහිදී පොලිස් අණ නොතකා යතුරු පැදිය ධාවනය කිරීම ඇතුළු වැරදි නවයක් සදහා සැකකරුට විරුද්ධව පොලිසිය විසින් අධිකරණය හමුවේ චෝදනා ගොනු කල අතර එම චෝදනා සියල්ලට සැකකරු වැරදිකරු බව ඇඹිලිපිටිය අධිකරණයේදී ඔප්පු වී තිබෙනවා.

ඒ හේතුවෙන් සැකකරුට රුපියල් අසූඅට දහසක (රු.88000/=) දඩයක් ගෙවන ලෙස ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර ඇත. මෙසේ වැරදිකරු වී ඇත්තේ කිරිඉබ්බන් ආර ප්‍රදේශයේ පදිංචි විසි එක් හැවිරිදි තරුණයෙක් බව පොලිසිය සදහන් කලා.

පොලිස් අණ නොතකා ධාවනය, රියදුරු බලපත්‍රයක නොමැතිව රිය ධාවනය, පසුපදිකරුට ආරක්‍ෂිත හිස් වැසුම් නැතිවීම, ආදායම් බලපත්‍රය සහ රක්ෂණ සහතික නොමැතිවීම, සයිලන්සර් මගින් අධික ලෙස ශබ්දය පිටවීම සහ යතුරු පැදියේ හැඩය වෙනස් කිරීම ඇතුළු වැරදි 09 ක් සදහා පොලිසිය විසින් වැරදිකරුට එරෙහිව අධිකරණයේ චෝදනා ගොනු කර තිබුනා.