Tuesday, May 21, 2024

General line - 0115112241

උතුරේ මහ ඇමති යළි අවස්ථාවක් නොදීමේ තීරණයක්

දිනසේන රතුගමගේ




උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී විග්නේෂ්වරන්ට නැවත වරක් සිය සන්ධානයේ උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යධූර අපේක්ෂකයා ලෙස පෙනී සිටීමට අවස්ථාව හිමි නොවන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. එහි මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් යාපනයේ පැවැති දෙමළ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් මේ බව කියා සිටියා. එය දෙමළ ජාතික සන්ධානයේ අවසන් නිල තීන්දුව බවද සුමන්තිරන් මන්ති‍්‍රවරයා එහිදී අවධාරණය කර තිබෙනවා. සුමන්තිරන් මන්තී‍්‍රවරයා මෙම ප‍්‍රකාශය මීට පෙර අවස්ථා දෙකකදී ද මාධ්‍ය වෙත කියා සිටියත්, දෙමළ ජාතික සංවිධානයේ නායක ආර් සම්බන්ධන් ප‍්‍රකාශ කර තිබුණේ පළාත් ප‍්‍රධාන අමාත්‍යධූරයට සුදුසුම පුද්ගලයා සී වී විග්නේෂ්වරන් බවයි. 

එහෙත් දෙමළ ජාතික සන්ධානයේ නායකයින් හා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් අතර දිනෙන් දින මත ගැටුම් නිර්මාණය වී තිබෙනවා. ඊට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ දෙමළ ජාතික සන්ධානය ජනතාවට ලබා දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නොමැති බවට සී විග්නේෂ්වරන් සිදු කළ ප‍්‍රකාශයත් සමගයි. දෙමළ ජාතික සන්ධානය වෙනුවට නව දේශපාලන පක්ෂයක් ආරම්භ කළ යුතු බවට දෙමළ ජාතික සභාවේදී ඔහු සිදු කළ ප‍්‍රකාශයත් සමග එම මත ගැටුම් තවදුරටත් වර්ධනය වුණා.