Sunday, January 19, 2025

General line - 0115112241

නාමල්ට එරෙහි කළු සල්ලි නඩුවේ සාක්ෂි විභාගය තවදුරටත් කල් යයි




අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30 ක මුදලක් ගවර්ස් කෝපරේට් සර්විස් පුද්ගලික  සමාගම හරහා විශුද්ධීකරණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හය දෙනෙකුට  එරෙහිව පවතින නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඔක්තොම්බර් මස 9 දා ට කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (11) නියෝග කළා. 

නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන බොස්ටන් කැපිටල් පුද්ගලික සමාගමේ සභාපති රොහාන් ඊරියගොල්ලගෙන් අද දින විත්ති පාර්ශවයේ නීතිඥවරු  හරස් ප්‍රශ්න විමසනු ලැබුවා. එහිදී රජය වෙනුවෙන් සාක්ෂි ලබා දීමට පගාවක් ගත් බවට විත්ති පාර්ශවය කළ යෝජනාව සාක්ෂිකරු ප්‍රතික්ෂේප කළා.

ඔහුගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම ඔක්තොම්බර්  මස 9 දාට  කල් තැබීමට මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් තීරණය කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, ඔනෙලා ඉරේෂා ද සිල්වා, සුජානි බෝගොල්ලාගම  සහ නිතයා සෙනානි යන අය මහාධිකරණයේ පෙනී සිටියා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුල සිට මහේස්ත්‍රාත් අධිකරණය මග හරිමින් සිටි ඉන්දික කරුණාජීව යන අය අත් අඩන්ගුවට ගැනීමට අන්තර් ජාතික පොලිසිය හරහා විවෘත වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.