ඉදිරි ජනාධිපතිවරණයට තම සහෝදරයෙකු තරඟ කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.
ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ සංචාරය අතරතුර "ද හින්දු" පුවත්පතට අදහස් දක්වමින්.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාව බලා පිටත්ව ගියේ තුන්දින සංචාරයක් සඳහායි.
මෙම සංචාරයේදී ඔහු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මෙන්ම එරට එක්සත් ප්රගතිශීලී සන්ධානයේ සභාපතිනිය වන සෝනියා ගාන්ධිද හමුවනු ඇතැයි සඳහන්.
තෙදින සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස නව දිල්ලි අගනුවර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රි ආචාර්යය සුබ්‍රමනියම් ස්වාමි විසින් පිළිගනු ලැබුවා.
ඉන්දිය මාධ්‍ය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රජිව් ගාන්ධි ඝාතකයන් නිදහස් කිරීමට ගත් තීරණය ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට අදාළ සිදුවීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.
ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වීමේ අවම වයස් සීමාව 30 සිට 35 දක්වා වැඩි කිරීම මත තම පුතු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට 2019 ජනාධිපතිවරණ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ හැකියාවක් නොමැති බවත් නමුත් තමාගේ සහෝදරයා හට ජනාධිපතිරණය සඳහා ඉදිරිපත්වීමේ අනිවාර්ය හැකියාවක් පවතින බවද හිටපු ජනාධිපතිවරයා ඉන්දීය මාධ්‍යට පවසා ඇති බවයි වාර්තා කර තිබෙන්නේ. නමුත් ජනතාවට සැබෑ ලෙසම අවශ්‍ය පුද්ගලයා කවුරුන්දැයි පක්ෂය අවසන් තීරණයක් ගත යුතු බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.