ඉන්ධන මිල වැඩිවීමත් සමග බස් ගාස්තු වැඩි කරනවාද නැද්ද යන්න පිළිබඳ අවසන් තිරණය ලබන සිකුරාදායින් පසුව ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මේ බව කියා සිටියේ නෙත් නිවුස් කළ ප‍්‍රශ්ණ කිරීමකදීයි.
එහිදී "දැනට මාස කිහිපයකට පෙර 15%කට ආසන්න ප්‍රතිශතයකින් බස් ගාස්තු ඉහළ නැංවුවා. එසේ කිරීමෙන් පසුව කිහිපවරක් ඉන්ධන මිල වැඩි වුණා. ඒ නිසා 04%ක් 05% අතර ප්‍රමාණයකින් තමයි ඉහළ නංවනවා නම් එසේ කරන්න පුළුවන් වෙන්නේ. ඉන්ධන සහනාධාරයක් ලබා දෙනවාද කියලත් සාකච්ඡා කරන්න සූදානම්." යනුවෙන් සඳහන් කළා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න නෙත් නිවුස් වෙත කියා සිටියේ ඉන්ධන මිලට සාපේක්ෂව වෙනස් වන බස් ගාස්තුවට අදාළ මිල සූත‍්‍රයක් අවශ්‍ය බවයි. පවතින ගැටලූව පිළිබඳ ඉදිරියේදී ජනාධිපතිවරයාද දැනුවත් කරන බවයි ඔහු කියා සිටියේ.
ඉන්ධන මිල වැඩිවීමත් සමග ලංකා ගමනාගමන මණ්ඩලයට ඇති බලපෑම පිළිබඳ නෙත් නිවුස් සොයා බැලිමක් කළා. එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු පැවසුවේ ඉන්ධන මිල ඉහල යාමත් සමග ලංගම ගාස්තු වැඩි කරනවාදැයි මෙතෙක් තීරණය කර නොමැති බවයි.
දෛනිකව ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ සඳහා ඞීසල් ලීටර් තුන් ලක්ෂ 75,000ක් යොදා ගැනෙනවා. නව මිල වැඩි වීමත් සමග ඊට වැයවන මිලද සිව් ගුණයකින් වැඩිවන බවයි ඔහු කියා සිටියේ.
එය දළ වශයෙන් රුපියල් ලක්ෂ 18කට ආසන්නයි. එබැවින් වියදම් පියවා ගැනීම් සඳහා විකල්ප ක‍්‍රම අනුගමනය කිරීමට සිදුවන බව ලංකා ගමනාගමන මණ්ඩලය ප‍්‍රකාශ කළා.
ඉන්ධන මිල වැඩිවීමත් සමග ලංගම ගාස්තු වැඩිවීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් නෙත් නිවුස් ප‍්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහගෙන් විමසා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ බස් ගාස්තු වැඩි වන්නේ නම් ලංගම සහ පෞද්ගලික යන අංශ දෙකෙහිම වැඩි වෙන බවයි.
මේ අතර ධීවරයින්ද පවසන්නේ ඉන්ධන මිල වැඩිවීම තම කර්මාන්තයටද දැඩි ලෙස බලපා ඇති බවයි. සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මේ බව සඳහන් කළා.