Sunday, January 19, 2025

General line - 0115112241

ජොන්ස්ටන්ට ඇප දෙනවාදැයි සලකා බැලීම 17ට කල්යයි




 

පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේ දී සතොස මුදල් රුපියල් මිලියන 5.2 ක් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව ‍රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු  වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු ඇප මත මුදාහරින ලෙසට ඉල්ලා ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධයෙන් නියෝගය සැප්තැම්බර් මස 17දා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය දින නියම කරන ලදී .

මෙම නඩුව සම්බන්ධයෙන් නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට  කුරුණෑගල මහාධිකරණ පසුගිය සැප්තැම්බර් මස 3 දා නියෝග කළා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරිය කටයුතු කළ ආකාරය නීත්‍යානුකූල බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැන්විය .රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත්තේ නඩු විභාගය කඩිනමින් කිරීමේ අරමුණින් බව නීතිපතිවරයා පැවසුවේය .

තවද පොදු දේපල පනත යටතේ චෝදනා ලැබ ඇති අයෙකුට ඇප පනතේ ප්‍රතිපාදන අදාල නොවන බව නීතිපතිවරයා වැඩිදුරටත් පැවසුවා. කෙසේවෙතත් මෙම වරද පොදු දේපල ගනයට නොවැටෙන බව විත්ති පාර්ශවයේ නීතිඥවරයා අධිකරණයට දැන්විය . එවැනි අවස්ථාවකදී ඇප ප්‍රතික්ෂේප කිරීමට හේතුවක් නොමැති බව ඔහු පැවසුවා.

කුරුණෑගල මහාධිකරණය මගින් හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර් සහ හිටපු සතොස සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනා තිදෙනා රිමාන්ඩ් බාරයට පත් කිරීමට කළ නියෝගය අවලංගු කොට ඇප මත මුදාහැරීමට ලෙසට මෙම පෙත්සමෙන් ඉල්ලා සිටියි .

කුරුණෑගල යන්තම්පලාව සතොස ශාඛාවෙන් ලබාගත් භාණ්ඩ තොගයක් සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි මොවුන්ට එරෙහිව නීතිපති චෝදනා ගොනුකර ඇත.