ධීවරයින් 7 දෙනකු රැගත් මළිඳු පුතා බහුදින ධීවර යාත්‍රාව නැවක ගැටීම හේතුවෙන් ධීවරයින් සිව් දෙනකු මියගොස් ඇතැයි පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා. අදාල නෞකාව අනතුර සිදුකොට පලාගේස් ඇතැයි නාවික හමුදාව පවසනවා.
බේරුවල ධීවර වරායෙන් ඊයේ (11) දින රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති මෙම බහුදින යාත්‍රාව මෙරට මුහුදු සීමාවේදී වෙළඳ නෞකාවක ගැටී ඇති බවයි වැඩිදුරටත් පැවසෙන්නේ.
මියගිය සිව් දෙනාගේ සිරුරු සහ යාත්‍රාවේ සිටි එක් අයෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
අද (12) උදැසන 7:30 ට පමණ නාවික හමුදා මුලස්ථානය වෙතට බහුදින ධිවර යාත්‍රාවක් අනතුරට ලක්වී ඇති බවත් එහි එක් පුද්ගලයෙකු දිවි බේරා ගෙන සිටින බවට තමන් නිරීක්ෂණය කළ බවට බහාලුම් රැගෙන යමින් තිබෙන ජාත්‍යන්තර නැවක් විසින් ලබාදුන් හදිසි පණිවිඩයක් අනුව ගාල්ල නාවික හමුදා කඳවුරේ සිට ඩෝරා යාත්‍රාවක් පිටත් කර යැවු බවට නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර nethnews.lk වෙත සදහන් කළා.
ගාල්ලේ සිට නාවික සැතපුම් 30 ක් බටහිර දෙසින් පිහිටි මුහුදු සීමාවේදී එලෙස අනතුරට ලක්ව තිබු බහුදින ධිවර යාත්‍රාව නාවික හමුදාව විසින් සොයා ගත් බවත් එහි දිවි බේරා ගත් ධිවරයාගෙන් ලද තොරතුරු මත නාවික හමුදා කිමිඳුම්කරුවන් යොදවා සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුව ගිලි තිබු ධිවර යාත්‍රාව තුල මියගොස් සිටි ධිවරයින් සිවුදෙනෙකුගේ මළ සිරුරු සොයා ගත බවත් නාවික හමුදාව සඳහන් කරනවා. දිවි බේරා ගත් ධීවරයා පවසා ඇත්තේ තමන් ඇතුළු තවත් ධිවරයින් හත් දෙනෙකු ඊයේ (11) දහවල් බේරුවල ධිවර වරායෙන් මුහුදු රැකියාවට පිටත්ව ගිය බවයි. රාත්‍රි 12 ට පමණ තමන් ගමන් කළ බහුදින ධිවර යාත්‍රාව විශාල නෞකාවක ගැටුණු බවයි ඔහු පවසා තිබෙන්නේ. මේ වන විට නාවික හමුදාව විසින් ජීවිතය බේරා ගත් ධීවරයා වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සදහා ගාල්ලේ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. ධීවරයින් සිවුදෙනාගේ මළ සිරුරු ගාල්ල වරාය පොලිසියට භාරදී තිබෙනවා.
අතුරුදහන්ව ඇති බවට කියන අනෙක් ධිවරයින් දෙදෙනාගේ සම්බන්ධයෙන් වැඩිදුර මෙහෙයුම් කටයුතු සදහා නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් සහ කිමිදුම්කරුවන් බහුදින ධිවර යාත්‍රාව අනතුරට ලක්වූ මුහුදු සිමාවේ රඳවා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර වැඩිදුරටත් පැවසුවේ.