Sunday, January 19, 2025

General line - 0115112241

මහින්ද ඉන්දියාවේදී කළ අනාවරණය ගැන "UNP-SLFP-JVP" මතය මෙන්න

සමන්ත කුමාර/නිශාන් ද සිල්වා




එළඹෙන ජනාධිපතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා ලෙස රාජපක්ෂවරයෙකු ඉදිරිපත් වුවහොත් එය එක්සත් ජාතික පක්ෂයට වාසිදායක බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පවසනවා.

එළඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස තම සහෝදරයෙකු ඉදිරිපත් විය හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‘‘ ද හින්දු’’ පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප‍්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

"රාජපක්ෂවරයෙකුම දාන එක අපිට වාසියි.. මොකද හැටහුටාමාරක් චෝදනා තියෙනවා නේ..ඒ ගොල්ලන්ට පිරිසිදු කෙනෙක් හොයා ගන්න බැරි වෙයි. ඒක තමයි මගේ තර්කය" 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් තෝරාගන්නා ජනාධිපති අපේක්ෂකයාට සිය කණ්ඩායමේ සහය හිමිවන බවයි. ඒ පිළිබඳ කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා වැඩි දුරටත් සඳහන් කළේ "පුද්ගලයා වශයෙන් අහවලා හොඳයි..මෙයා හොඳයි කියලා අපි කියන්න යන්නේ නෑ" යනුවෙනි.  

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය දරන්නේ ඊට පරස්පර මතයක්. එහි මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පෙන්වා දෙන්නේ "කවුරු හරි නායකයෙක් ප්‍රකාශයක් කළාම ඊට විකල්ප ප්‍රකාශ ඊට සමාන්තරව නිකුත් කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉක්මන් වෙන්නේ නෑ. අපේ අපේක්ෂකයා නිසි වෙලාවට මධ්‍යම කාරක සභාව විසින් සමාලෝචනය කරලා ඉදිරිපත් කරයි". යනුවෙනි.

මේ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බිමල් රත්නායක ද අදහස් පළ කළා. එහිදී "දැවැන්ත දේශපාලන පවුලක් එතුමා නිර්මාණය කර ගත්තා. මේ ප්‍රකාශය හරහාත් ඉතා පැහැදිළියි එතුමාට එන්න බැරි වුණොත් රාජපක්ෂ පවුලේ කෙනෙක් එතනට ඉදිරිපත් වෙනවා කියන එක. මේක මහින්ද රාජපක්ෂ මහත්තයාගේ තනි ප්‍රශ්නයක් නෙමෙයි. චන්ද්‍රිකා බණ්ඩාරනායකත් දිගට ගියානම් ඕක තමයි වෙන්නේ." යනුවෙන් සඳහන් කළා.