Thursday, May 2, 2024

General line - 0115112241

දේශීය සමාගමක් ශ්‍රී ලංකාවේ හැදූ ගිණි නිවීම් සුපිරි අධිවේගි යාත්‍රාව දියත් කෙරේ - ඉන්දියාවට යාත්‍රා 80කුත් නිපදවලා

චම්ලි ඒකනායක




මහ මුහුදේ ගිනි ගැනීමට ලක්වන නැවි , බෝට්ටු වෙත ක්ෂයණිකව ලගා වී ගිනි ගැනීම් පාලනය කිරීම සඳහාම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කළ ප්‍රථම අධිවේගී ගිනි නිවීමේ යාත්‍රාව දියත් කිරීම ධිවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි ගේ ප්‍රධානත්වයෙන් දික්ඕවිට ධිවර වරායේදී ඊයේ [ 13 ] සිදු කෙරිණ .

පැයට නාවීක සැතපුම් 35 ක වේගයකින් යාත්‍රා කළ හැකි මෙම යාත්‍රාව සතුව පැයකට වතුර ලීටර් ලක්ෂ 06 ක් මීටර් 120 ක් දුරට විදිය හැකි පහසුකම් සහ ගොඩබිම සිට නාවීක සැතපුම් 200 ක දුර ගිනි නිවීමේ මෙහෙයුම් වල සාර්ථකව නිරතව නැවත ගොඩබිමට ලගවිමේ සියලු පහසුකම් වලින් සමන්විතය . BELUGA – 18 නමැති මෙම ගිනි නිවීමේයාත්‍රාවේ ගිනි නිවීම් භටයින් 06 දෙනෙකුට ගමන් කර මෙහෙයුම් සිදු කිරීමේ පහසුකම් ඇත. මහ මුහුදේ සිදුවන එවැනි ගිනි ගැනීම් පාලනය කිරීම පිළිබද විශේෂ පුහුණුවක් ද ඔවුන්ට ලබා දී ඇත . ඉන්ධන වැනි ද්‍රව්‍යක් හේතුවෙන් ගිනි ගැනීමකට ලක්වන නැවක් හෝ බෝට්ටුවක ගින්න පාලනය සදහා අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ලීටර් 8000 කින් ද මෙම ගිනි නිවීමේ යාත්‍රාව සමන්විතය .

එවැනි ගිනි ගැනිමක් පිලිබදව වාර්තා වූ වහාම අදාළ ස්ථානය නිශ්චිතව හදුනාගැනීමේ නවීන තාක්ෂ ණය මෙන්ම , එවැනි ගිනි ගැනීමක් දැනගැනීමත් සමග අදාළ නැවේ IMO අංකය මගින් එම නැව ඇති ස්ථානය පහසුවෙන් හදුනාගැනීමේ AIS තාක්ෂ්ණයෙන්ද මෙම යාත්‍රාව සමන්විතය. එවැනි ගිනි නිවීමක් පාලනය කිරීමේ මෙහෙයුමකදී අදාළ ස්ථානයේ ස්ථානගත වී සිටීමේ GPS සහ සැටලයිට් තාක්ෂණය අනුව යාත්‍රාව ස්වයංක්‍රීයව බලගැන්වී සාගරයේ පා නොවී සිටීමේ විශේෂිත හැකියාවද සහිතව මෙය නිපදවා ඇත . මෙම ගිනි නිවීමේ යාත්‍රාව සම්පුර්ණයෙන් දේශීය නිෂ්පාදනයකි.

ගින්නක් පාලනය කිරීමේ මෙහෙයුම් වලදී එල්ල වන අධික උෂ්ණත්වයෙන් මෙම යාත්‍රාව ආරක්ෂා කිරීම ස්වයංක්‍රීයව ජලය විහිදුවා සිසිල් කිරීමේ යාන්ත්‍රණයකින්ද මෙය සමන්විත බව එහි නිෂ්පාදක සෝලා මැරීන් ලංකා සමාගමේ කලමනාකර අධ්‍යක්ෂ එස්.ඩි. ප්‍රේමතිලක පැවසුවා. ඔහු සදහන් කළේ අනතුරටපත්  යාත්‍රාව ඇති ස්ථානය නිශ්චිතව හදුනාගෙන අවශ්‍ය මෙහෙයුම් සදහා යෙදවිය හැකි ලෝකයේ දැනට භාවිත කරන නවීන තාක්ෂ.ණය මෙය නිපදවීමේදී උපයෝගී කර ගෙන ඇති බවය .ඊට අමතරව බේරාගන්නා පුද්ගලයින්ට හදිසි ප්‍රතිකාර ලබාදී කඩිනමින් ආසන්නම වරාය වෙත රැගෙන එම සඳහා ද මෙම යාත්‍රාව සතුව පහසුකම් ඇති බවයි .

තම සමාගම මේ වන විට ඉන්දීය නාවික හමුදාව වෙනුවෙන් අධිවේගී යාත්‍රා 80 ක් සහ මාලදිවයින වෙනුවෙන් අධිවේගී යාත්‍රා 05 ක් නිෂ්පාදනය කර එම රටවලට භාර දී ඇති බවත් , ඉන්දීය නාවික හමුදාවට නිෂ්පාදනය කල එම අධිවේගී යාත්‍රා එරට වෙරළාරක්ෂක බලකාය විසින් භාවිත කරන බවත් මෙම ගිනි නිවීමේ යාත්‍රාව දියත් කිරීමේ අවස්ථාවේදී රැස්ව සිටි පිරිස අමතමින් ඔහු පැවසිය .